අලුත් හඳ පියවි ඇසින් දැකිය හැකි ද?

පසුගිය 26 වැනි ඉරිදා කවුරුත් ආදරයෙන් පිළිගැනීමට බලා සිටි ‘දෙවැනි සඳ’ පෘථිවියේ ගුරුත්වයට අවනත වුණා. ඒ අනුව එය මාසයකුත් දින 27ක කාලයක් පෘථිවිය සහ චන්ද්‍රයා ඇතුළත් පද්ධතිය වටා අශ්ව ලාඩමක හැඩයේ මාවතක ගමන් කර නැවතත් පෘථිවි ගුරුත්වයෙන් මිදී පිටත් ව යාමට නියමිතයි.

2024 PT5 ලෙස නම් කර ඇති මේ පෘථිවි-ආසන්න ග්‍රහකය මිිටර 10ක පළලින් යුතුයි. එනම් එය දළ වශයෙන් පාසල් සිසුන් ප්‍රවාහනයේ යෙයෙන බස් රථයක විශාලත්වයෙන් යුතු වනවා. විද්‍යාඥයන්ගේ ගණනය කිරීම්වලට අනුව පෘථිවියේ ගුරුත්වය නිසා තාවකාලික බන්ධනයකට ලක් ව ඇති මේ ග්‍රහකය දින 57කින් පසු ලබන නොවැම්බර් 25 වැනි දා නිදහස් ව යාමට නියමිත ව තිබෙනවා.

“දෙවැනි සඳ” යන යෙදුම අතිශය විස්මයජනක වුවත් විද්‍යාඥයන් පෙන්වා දෙන පරිදි එය බොහෝ විට නො පෙනෙන ගමන් සගයෙකු වන හැඩයි. චන්ද්‍රයා මෙන් 300,000 ගුණයකටත් වඩා කුඩා මේ ‘මිනි සඳ’ පියවි ඇසින් දැක බලා ගැනීමට නො හැකි වන තරම් බව ඔවුන් පෙන්වා දෙනවා. එසේ ම වෙළෙඳපොළේ දක්නට ඇති සාමාන්‍ය මට්ටමේ දුරදක්න සහ දුරේක්ෂ ද ඒ සඳහා උපකාර නො කරනු ඇති බවයි ස්පාඤ්ඤයේ Universidad Complutense de Madridහි මහාචාර්ය  Carlos de la Fuente Marcos සඳහන් කරන්නේ.

“මේ වස්තුව ආධුනික මට්ටමේ දුරේක්ෂ සහ දුරදක්නවලට නිරීක්ෂණය කිරීම අපහසු වන තරමට ම ප්‍රමාණයෙන් කුඩායි වගේ ම දීප්තියෙනුත් අඩුයි. කොහොම නමුත් වෘත්තීමය තාරකා විද්‍යාඥයන් පරිහරණය කරන මට්ටමේ දුරේක්ෂයකින් නිරීක්ෂණය කළ හැකි තරමේ දීප්ත කලාපයක එය පිහිටනවා.” Marcos ​සඳහන් කරනවා. “අවම තරමේ අඟල් 30ක විෂ්කම්භයක් සහිත දුරේක්ෂයක් සහ එයට සවි කළ CCD හෝ CMOS සංවේදකයක් තිබීම අවශ්‍යයි. දුරේක්ෂ‍ය පිටුපස නග්න ඇසක් තිබීමත් ප්‍රමාණවත් වන්නේ නෑ.” ඔහු පෙන්වා දෙනවා.

Live Science සහ Space.com ඇසුරෙනි.
සෞන්දර්ය සෙනරත්

Related posts

ජනවාරියේ එක ම රොකට්ටුවකින් සමාගම් දෙකක චන්ද්‍ර යානා දෙකක් අභ්‍යවකාශයට

ඇමරිකාවේ හැදෙන වාණිජමය විලයන බලාගාරය

අඟහරු මත මානව පුරාවිද්‍යාත්මක ස්ථාන සංරක්ෂණය කළ යුතු බව පර්යේෂකයෝ කියති