විරල බිග්ෆින් දැල්ලෙකු කැමරාවට හසුකර ගැනේ

දකුණු පැසිෆික් සාගර පත්ලේ පිහිටන ටොන්ගා අගාධයේ ස්ථානගත කර ඇති කැමරාවක අඩි කිහිපයක් දිගු සිහින් අඬු සහිත විරල බිග්ෆින් දැල්ලෙකුගේ දර්ශනයක් පටිගත වී තිබෙනවා.

Magnapinna කුලයට අයත් දැල්ලන් විශේෂ බිග්ෆින් දැල්ලන් ලෙස හැඳින්වෙන අතර ඔවුන් දර්ශනය වී ඇති වාර ගණන දුසිමක් පමණ වනවා. දැනට සොයාගෙන ඇති පරිදි සාගරයේ ගැඹුරුතම තැන්හි සරන දැල්ලන් විශේෂ වන්නේ ඔවුන්. Ocean Conservancy සඳහන් කරන පරිදි අඩි 20,000ක් පමණ ගැඹුරු සාගරයේ ඔවුන්ට වාසය කළ හැකියි.

ඉකුත් දිනෙක බිග්ෆින් දැල්ලෙකු සටහන් වී ඇති කැමරාව පිහිටා තිබුණේ සාගර මතුපිට සිට අඩි 10,800ක් යටින් පිහිටි සාගර පත්ල මතයි. එහි ආධාරයෙන් පර්යේෂකයන් ටොන්ගා අගාධය ගවේෂණයට ලක් කරමින් සිටින විට දී අහම්බයකින් මෙන් මේ දැල්ලා දැකගැනීමට හැකියාව ලැබී තිබුණා.

“අපි හැමවෙලේ ම ප්‍රාර්ථනා කරනවා මේ වගේ සතෙක් දකින්න.” බටහිර ඕස්ට්‍රේලියා විශ්වවිද්‍යාලයේ ගැඹුරු සාගර විද්‍යාඥයකු වන මහාචාර්ය Alan Jamieson මේ අද්විතීය අද්දැකීම ගැන අදහස් දක්වමින් පවසනවා. “බිග්ෆින් දැල්ලන් නැරඹීමේ අභිප්‍රායෙන් ගොස් ඔවුන් දැකබලාගන්න ඔබට බැහැ. ඔවුන් දැකබලාගත හැක්කේ අහම්බයකින් මෙන් අප ඔවුන් වෙත ගියහොත් පමණයි.” Jamieson පවසන පරිදි මින් පෙර මෙවැනි දැල්ලන් දැකගැනීමට ඉඩ සැලසී ඇත්තේ සාගරය තුළ බොරතෙල් සහ ගෑස් කැණීම් සිදු කරන අවස්ථාවල අහම්බයකින් මෙන්.

අලුත් වීඩියෝවේ දැක්වෙන බිග්ෆින් දැල්ලා බොහෝ විට ආහාර ගනිමින් හෝ එසේ කිරීමට උත්සාහ දරමින් සිටිනවා විය හැකි බව ඔහු සඳහන් කරනවා. සාගර පත්ල දිගේ ඈත සිට ඇවිද එන දැල්ලා කැමරාව ආසන්නයේ නැවතී සිය වරල් කහිපවරක් ම ස්පන්දනය කරනු දැකගත හැකියි.

මේ දැල්ලාගේ ශරීර ප්‍රමාණය අඟල් 8ත් 12ත් අතර අගයක් ගත හැකි බව පර්යේෂකයන් උපකල්පනය කරනවා. Jamieson සඳහන් කරන පරිදි ශිරීරයට වඩා කිහිප ගුණයක දිගින් යුතු අඬුවලින් දිස් වන්නේ ‘අතිශයෙන් ම විසමානුපාතික’ බවක්. බිග්ෆින් දැල්ලෙකුට අඬු ද ඇතුළත් ව අඩි 26ක් පමණ දිගකට වැඩිය හැකි බව විද්‍යාඥයන්ගේ විශ්වාසයයි.

Live Science ඇසුරෙනි.

සෞන්දර්ය සෙනරත්

Related posts

ජනවාරියේ එක ම රොකට්ටුවකින් සමාගම් දෙකක චන්ද්‍ර යානා දෙකක් අභ්‍යවකාශයට

ඇමරිකාවේ හැදෙන වාණිජමය විලයන බලාගාරය

අඟහරු මත මානව පුරාවිද්‍යාත්මක ස්ථාන සංරක්ෂණය කළ යුතු බව පර්යේෂකයෝ කියති