Home Science News දශකය අවසානයේ ‘ජාත්‍යන්තර චන්ද්‍රගාමියෙකු’ සඳ මතට යවන බව කමලා හැරිස් කියයි

දශකය අවසානයේ ‘ජාත්‍යන්තර චන්ද්‍රගාමියෙකු’ සඳ මතට යවන බව කමලා හැරිස් කියයි

by Sathya

NASA ගගනගාමීන් සඳ වෙත නැවත වතාවක් ගොඩබැසීම ජාතික වශයෙන් පමණක් නො ව ජාත්‍යන්තර ව වැදගත් සිදු වීමක් වනු ඇති බව ඇමරිකානු උප ජානාධිපතිනි කමලා දේවි හැරිස් ඉකුත් 20 දා සඳහන් කළා. ඒ ඇය සභාපතිත්වය දරන එරට ජාතික අභ්‍යවකාශ කවුන්සිලයේ (National Space Council – NSC) තෙවැනි සැසි වාරයේ දී යි. ආටමිස් (Artemis) වැඩසටහන මඟින් පළමු වතාවට ඇමරිකානුවකු නො වන ගගනගාමියෙකු ද නුදුරු අනාගතයේ සඳ වෙත යැවෙන බව ද ඇය මෙහි දී ප්‍රකාශ කර සිටියා.

‘අපි බලාපොරොත්තු වනවා මේ දශකය නිමා වනවාත් සමඟ ජාත්‍යන්තර ගගනගාමියෙක් සඳ වෙත ගොඩබැස්වීමට’ හැරිස් සඳහන් කළා. ඇය එම ‘ජාත්‍යන්තර චන්ද්‍රගාමියා’ කුමන ජාතියක් නියෝජනය කරනු ඇත් දැ යි වැඩිමනක් තොරතුරු ප්‍රකාශ කර තිබුණේ නැහැ.

NASAහි ආටමිස් වැඩසටහන අරමුණු කරගෙන සිටින්නේ 20 දශකය නිමාව දැකීමට පෙර සඳ මත ස්ථිර මෙන් ම තිරසාර මානව වාසයක් ඇති කිරීමයි. 2030 ගණන්වල හෝ 40 ගණන්වල සිදු වේ යැ යි බලාපොරොත්තු වන අඟහරු තරණය සඳහා මින් ලබා ගැනෙන පූර්වාදර්ශ සහ දැනුම් සම්භාරය වැදගත් වනවා.

ආටමිස් වැඩසටහනට අයත් එක් මෙහෙයුමක් දැනටමත් සිදු වී අවසන්. ආටමිස් 1 නම් වූ එය පසුගිය වසරේ අග භාගයේ දී හටගත්තේ නො නියමු මෙහෙයුමක් ලෙසයි. එහි දී ආටමිස් නියමු මෙහෙයුම් සඳහා භාවිත කරන්නට නියමිත ඔරායන් කැප්සියුලය චන්ද්‍ර කක්ෂයකට අවතීර්ණ කර ආපසු පෘථිවියට ගෙන්වා ගෙන තත්ත්වය පරික්ෂා කර බැලුණා. ආටමිස් 2 නම් වන නියමු මෙහෙයුම සඳහා ගගනගාමීන් සිව් දෙනෙකුගෙන් යුතු කණ්ඩායමක් දැනටත් නම් කර අවසන්. NASA ගගනගාමීන් තිදෙනෙකු සහ එක් කැනේඩියානු අභ්‍යවකාශ අධිකාරියේ ගගනගාමියෙකු ද අන්තර්ගත එය 2024 අග හෝ 2025 මුල හෝ දියත් කිරීමට සැලසුම් සකස් කෙරෙමින් පවතිනවා. මෙහි දී ද සඳ මතට ගොඩ බැසීමක් සිදු නො වන අතර ඒ වටා ගොස් පෘථිවියට පැමිණීම සිදු වනු ඇති.

අඩ සියවසකට වැඩි මිනිස් චන්ද්‍ර ගොඩබැසුම් විරාමය බිඳ දමමින් නැවත වතාවක් මිනිසා සඳ මත පා තබනු ඇත්තේ ආටමිස් 3 මෙහෙයුමේ දී යි. 2025 දී හෝ 26 දී සිදු වනු ඇති එහි ඉලක්ක ගත ගොඩබැසුම් ප්‍රෙද්ශය වනු ඇත්තේ චන්ද්‍ර දක්ෂිණ ධ්‍රැවාසන්න කළාපයක්. ඉන් පසු ආටමිස් 4 සහ 5 පිළිවෙළෙින් 2028 හා 2029 දී දියත් කෙරෙනු ඇති බව බලාපොරොත්තු වනවා.

ආටමිස් 4 සහ 5 මෙහෙයුම් දෙකෙහි ම යුරෝපානු අභ්‍යවකාශ ඒජන්සියට අයත් ගගනගාමියෙකු බැගින් එක් වනු ඇති බව ESA හි අධ්‍යක්ෂ Josef Aschbacher සඳහන් කර තිබුණේ ඉකුත් ජූපි මාසයේ දී යි. බොහෝ විට ඉකුත් දා හැරිස් සඳහන් කළ ‘ජාත්‍යන්තර චන්ද්‍රගාමීන්’ ඔවුන් විය හැකි බව උපකල්පනය කළ හැකියි.

Space.com ඇසුරෙනි.

සෞන්දර්ය සෙනරත්

 

Leave a Comment

You may also like

logo2

1987 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ අඛණ්ඩව සතිපතා පළවන එක ම විද්‍යා ප්‍රකාශනය වන විදුසර විද්‍යා සඟරාව, නිවැරදි විද්‍යා දැනුම සරලව හා ආකර්ශනීයව ඉදිරිපත් කරමින් ලංකාවේ සිසු දරු දැරියන් හා සාමාන්‍ය ජනතාව අතර විද්‍යාව ප්‍රචලිත කිරීම උදෙසා කැප වී සිටියි.

Contact Us

via Email

via Phone

For Advertising

Our Publications