Science News වකීටා මුහුදු ඌරන් ගහනය දස දෙනෙකුට සීමා වෙයි SathyaAugust 10, 2023082 views International Whaling Commission විසින් පසුගිය දා සිය 70 වසරක ඉතිහාසය තුළ නිකුත් කළ පළමු වැනි ‘තුරන් ව යාමේ අනතුරු ඇඟවීම’ නිකුත් කරනු ලැබුවා. ඒ වකීටා (vaquita) ලෙස හැඳින්වෙන මුහුදු ඌරන් (පෝපොයිසයන්) විශේෂය සම්බන්ධ ව යි. වකීටා යනු කැලිෆෝනියානු සමුද්රවංකයට ආවේණිතක වූ මුහුදු ඌරන් විශේෂයක්. විද්‍යාත්මක ව Phocoena sinus ලෙසින් හැඳින්වෙන ඔවුන් දිගින් සෙන්ටිමීටර 140ත් 150ත් අතර ප්‍රමාණයකට වැඩෙනවා. ලොව වෙසෙන ශරීර ප්‍රමාණයෙන් කුඩා ම සාගර ක්ෂීරපායීයා වන්නේ වකීටායි. මෑතක දී කරන ලද අධ්‍යයනයකින් හෙළි වී ඇති පරිදි වකීටා ගහනය දස දෙනෙකුට සීමා වී තිබෙනවා. ඔවුන්ගේ මේ සීග්‍ර වඳ වී යාමට හේතුව ලෙස මසුන් මැරීම සඳහා යොදා ගන්නා අනීතික උපක්‍රමයක් වන “gillnets” ලෙස හැඳින්වෙන ධීවර දැල් හඳුන්වා දිය හැකියි. IWC හි විද්‍යාත්මත කමිටුව ප්‍රකාශයක් නිකුත් කරමින් පවසා තිබෙන්නේ වකීටාවන්ගේ ගහනය ගැන මෙන් ම ඔවුන් තුරන් ව යාමෙන් ගලවා ගැනීම ගැන තමන් දැඩි ලෙස සැලකිලිමත් වන බවයි. ධීවරයින් මෙම සාගර කලාපය තුළ gillnet දැල් එලීම සිදු කරන්නේ වඳ වී යාමේ තර්ජනයට මුහුණ පා සිටින තවත් විශේෂයක් වන totoaba මසුන් ඇල්ලීම සඳහායි. අනීතික වෙළෙඳපොළ හරහා චීනයේ සහ හෙං කොංවල උන් අධික මිළ ගණන් යටතේ අළෙවි වනවා. වකීටා මසුන් සිර වී අකාලයේ මිය යන්නේ වෙනත් මසුන් වර්ගයක් මැරීමේ චේතනාවෙන් එළන ධීවර දැල්වල පැටලීමෙන්. 2022 දී මෙක්සිකානු නාවුක හමුදාව තවත් රාජ්‍යායතන සමග ඒකාබද්ධ ව මේ ගැටලුවට පිළියමක් වශයෙන් කොන්ක්‍රීට් කැට ස්ථානගත කරමින් ධීවර නැව්වල පිවිසීම පාලනය කරනු ලැබුවා. එමෙන් ම අනීතික gillnet දැල් භාවිතයට එරෙහි නීති රීති ද දැඩි කරනු ලැබුණා. නමුත් ලැබෙමින් පවතින නවතම සාක්ෂ්‍ය පෙන්නුම් කරන්නේ ආවරිත කලාපයට යාබද වෙනත් විවෘත සාගර කලාපවල තවමත් අනීතික ධීවර උපක්‍රම භාවිතයට ගැනෙන බවයි. මින් පෙර ගණනය කර තිබූ පරිදි 567ක් ලෙස වාර්තා වු වකීටා ගහනය 10ක් දක්වා සීඝ්රයෙන් පහත වැටීමට ඒවා ඍජු ලෙස ම බලපා තිබෙනවා. The Guardian ඇසුරෙනි. සත්‍ය හෙට්ටිආරච්චි