Home Science News 14 වියැති දරුවෙකුට SpaceX හි රැකියාවක්

14 වියැති දරුවෙකුට SpaceX හි රැකියාවක්

by Sathya

කයිරාන් ක්වාසි (Kairan Quazi) නම් 14 වියැති පිරිමි දරුවා ලෝ ප්‍රකට අභ්‍යවකාශ තාක්ෂණ සමාගමක් වන ඊලෝන් මස්ක්ගේ SpaceX සමාගමේ රැකියාවක් හිමි වී තිබෙනවා. ඇමරිකා එක්සත් ජනපදයේ පදිංචි ඔහු මේ වන විටත් සිටින්නේ කැලිෆෝර්නියාවේ සැන්ටා ක්ලාරා විශ්වවිද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබීමෙන් අනතුරුව සිය උපාධිය අපේක්ෂාවෙන්.

කැලිෆෝර්නියාවේ සිය පවුලත් සමග වෙසෙන ක්වාසි සැන්ටා ක්ලාරා විශ්වවිද්‍යාලයෙන් උපාධියක් ලැබූ ලාබාලතමයා වීමේ වාර්තාව තබා තිබෙනවා.

ක්වාසි කුඩා කල සිට ම ඉගෙනීම කෙරෙහි අසාමාන්‍ය දක්ෂතාවක් දැක් වූ දරුවෙකු බව සඳහන්. ඔහුගේ දෙමාපියන් පවසන පරිදි ක්වාසි සම්පූර්ණ වාක්‍යවලින් කතා කිරීමේ හැකියාව ලබාගෙන තිබෙන්නේ අවුරුදු දෙකක් තරම් වූ කුඩා කල දී යි. පෙර පාසල් අවධියේ දී ගුවන් විදුලියට සවන් දී එහි කියැවෙන තොරතුරු ධාරණය කරගෙන මිතුරන්ට හා ගුරුවරුන්ට පැවසීමට ඔහු පුරුදු ව සිට තිබෙනවා.

පාසල් අවධියේ තුන වසරේ පසුවද්දී කළ පරීක්ෂණ මඟින් සාමාන්‍ය ජනතාවට සාපේක්ෂ ව 99.9%ක බුද්ධියක් ඔහු සතු බව හෙළි වූ බව BrainGain සඟරාව සඳහන් කරනවා. පාසලේ දී ලැබෙන පැවරුම් ආදිය ඉතා ඉක්මනින් හා පහසුවෙන් ඉටුකිරීම නිසා දෙමාපියන්ගේ සහ ගුරුවරුන්ගේ අදහස වී තිබුණේ ප්‍රධාන ධාරාවේ අධ්‍යාපනික ක්‍රමවේදයක් තුළින් ඔහුගේ සැබෑ විභවය පරික්ෂාවට ලක් කළ නො හැකි බවයි. අනතුරුව ඔහු Las Positas community college පාසල වෙත ඇතුළත් කෙරුණු අතර නොබෝ කලකින් පරිගණක විද්‍යාව සහ ඉංජිනේරුකරණය හැදෑරීම සඳහා ඔහු සැන්ටා ක්ලාරා විශ්වවිද්‍යාලයට ඇතුළත් කෙරුණා. එවිට ක්වාසි පසු වූයේ 11 වන වියේ යි. මේසේ පාසල් මාරු වන අතරේ ඔහු Intel තාක්ෂණ සමාගමේ පුහුණු රැකියාවකට ද යොමු වූ අතර එහි දී කෘත්‍රිම බුද්ධිය ආශ්‍රිත විෂයන් ද හදාරා තිබෙනවා. ශාස්ත්‍රීය ගුන්ථ මෙන් ම විද්‍යා ප්‍රබන්ධ ලෝලියෙකු ද වන ක්වාසි පිලිප් කේ. ඩික් විසින් රචිත විද්‍යා ප්‍රබන්ධ කියැවීමට මහත් අභිරුචියක් දක්වනවා.

පසුගිය දිනෙක ඔහු SpaceX සමාගමේ රැකියාවක් සඳහා තොරාගැනුණා. ඒ එහි අන්තර්ජාල සැපයුම් සේවාව වන Starlink ව්‍යාපෘතියට අනුයුක්ත ව යි. ජූලි මාසයේ සිට ඔහු නව රැකියාව සඳහා වාර්තා කිරීමට නියමිතයි. ක්වාසිගේ මව නුදුරේ දී ම ඔහු ද සමග සැන්ටා ක්ලාරා හි සිය නවහන අත් හැර Starlink කාර්යාලය වෙත පහසුවෙන් ළඟා විය හැකි වොෂිංග්ටනයේ රෙඩ්මන්ඩ් වෙත සංක්‍රමණය වීමට නියමිතයි.

ක්වාසි ටයිම්ස් වෙත අදහස් දක්වමින් සඳහන් කර ඇත්තේ තමාට ලැබෙන ජනමාධ්‍ය අවධානය ඉහළ පුටුවල සිටින නායකයන්ගේ දුර්මත සහ පක්ෂග්‍රාහී හැසිරීම් අභියෝගයට ලක් වේ නම් එය තමාගේ පැතුම බවයි.

‘මට මං වගේ තවත් අයට දොර අරින්න පුළුවන් බව විශ්වාසයි’ ක්වාසි ටයිම්ස් සඟරාවට පවසා තිබුණා.

The Guardian ඇසුරෙනි.

සෞන්දර්ය සෙනරත්

Leave a Comment

You may also like

logo2

1987 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ අඛණ්ඩව සතිපතා පළවන එක ම විද්‍යා ප්‍රකාශනය වන විදුසර විද්‍යා සඟරාව, නිවැරදි විද්‍යා දැනුම සරලව හා ආකර්ශනීයව ඉදිරිපත් කරමින් ලංකාවේ සිසු දරු දැරියන් හා සාමාන්‍ය ජනතාව අතර විද්‍යාව ප්‍රචලිත කිරීම උදෙසා කැප වී සිටියි.

Contact Us

via Email

via Phone

For Advertising

Our Publications