Home Science News සඳ වටා යන Artemis 2 ගගනගාමීන් නම් කෙරෙයි

සඳ වටා යන Artemis 2 ගගනගාමීන් නම් කෙරෙයි

by Sathya

අඩ සියවසකට වැඩි කාල විරාමයකට පසු මිනිසා යළි සඳ වෙත ගෙන යාමට කැප වී සිටින Artemis මෙහෙයුම් මාලාවේ දෙවැනි මෙහෙයුමට අනුයුක්ත ගගනගාමීන්ගේ නම් ඊයේ සවස් යාමයේ දී NASA ආයතනය විසින් නිවේදනය කෙරුණා.

ඒ අනුව රෙයිඩ් වයිස්මන් (Reid Wiseman), වික්ටර් ග්ලෝවර් (Victor Glover), ක්‍රිස්ටිනා කොච් (Christina Koch) සහ ජෙරමි හැන්සන් (Jeremy Hansen) මෙසේ Artemis 2 මෙහෙයුම වෙනුවෙන් නම් කෙරුණා. ඒ අතුරින් රෙයිඩ්, වික්ටර් සහ ක්‍රිස්ටිනා ඇමරිකානු ජාතිකයින් වන අතර ජෙරමි පමණක් කැනේඩියානු ජාතිකයෙක්.

එක්සත් ජනපද නාවුක හමුදාවේ ගුවන් නියමුවකු වූ රෙයිඩ් වයිස්මන් (47) කලක් NASA ආයතනයේ ගගනගාමී කාර්යාලයේ (Astronaut Office) ප්‍රධානියා ලෙස කටයුතු කර තිබෙනවා. ඔහු 2015 දී ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත එක් පියාසැරියක නියැලුණා.

වික්ටර් ග්ලෝවර් (46) එක්සත් ජනපද නාවුක හමුදාවේ ගුවන් නියමුවෙක් ලෙස සේවය කර තිබෙනවා. 2013 දී NASA ආයතනය සමග බැඳුණු ඔහු මුල් ම අභ්‍යවකාශ සැරිය සිදු කළේ 2020 දී යි. ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ මාස හයක අඛණ්ඩ කාලයක් රැඳී සිටි පළමු අප්‍රිකානු ඇමරිකානු ජාතිකයා ඔහුයි.

ක්‍රිස්ටිනා කොච් (44) විදුලි ඉංජිනේරුවරියක්. දැනට කාන්තාවක් අභ්‍යවකාශයේ ගත කළ වැඩි ම දින ගණනට හිමිකම් කියන්නේ ඇයයි. ඒ දින 328ක වාර්තාවක්. ඇය 2019 දී NASA ගගනගාමීනියක වූ ජෙසිකා මියර් සමග ප්‍රථම කාන්තා අජටාකාශ සක්මනේ (Space walk) නිරත වුණා. ක්‍රිස්ටිනා කොච්, චන්ද්‍ර මෙහෙයුමකට නම් කෙරුණු ප්‍රථම කාන්තාව වීම ද මෙහි ඇති විශේෂත්වයක්.

කැනේඩියානු අභ්‍යවකාශ ඒජන්සියට බැඳීමට පෙර රාජකීය කැනේඩියානු ගුවන් හමුදාවේ ප්‍රහාරක ජෙට් නියමුවෙක් ලෙස කටයුතු කර තිබෙන ජෙරමි හෙන්සන් (47) මේ වන තෙක් අභ්‍යවකාශ පියාසැරියකට සම්බන්ධ වී නැහැ.

“Artemis-2 මෙහෙයුම නියෝජනය කරන්නේ අප තරු වෙත ගෙන යාමට කැප වී ක්‍රියා කරන දහස් සංඛ්‍යාත මිනිසුන්. මේ ඔවුන්ගේ නියමුවන්. මේ අපේ නියමුවන්. මේ සමස්ත මිනිස් වර්ගයාගේ නියමුවන්.” NASA ප්‍රධානී බිල් නෙල්සන් පැවසුවා.

Artemis-2 මෙහෙයුමේ කමාන්ඩර්වරයා ලෙස කටයුතු කරනු ඇත්තේ රෙයිඩ් වයිස්මන්. ⁣ග්ලෝව්, නියමුවා ලෙස කටයුතු කරනු ඇති. කොච් සහ හැන්සන් මෙහෙයුම් විශේෂඥයන් ලෙස මෙහෙයුමට දායක වන්නට නියමිතයි.

මෙහෙයුම සඳහා ඔවුන්ගේ පුහුණු වීම් කටයුතු මෙතැන් පටන් ඇරඹීමට නියමිතයි.

2024 අග භාගයේ දී හෝ 2025 මුල දී සිදු වන්නට නියමිත මේ මෙහෙයුම සැලසුම් කර තිබෙන්නේ සඳ වටා කක්ෂගත ව යළි පෘථිවියට පැමිණෙන ලෙසයි. එහි දී ඔවුන් ගමන් ගන්නා මොඩියුලය සඳ මත ගොඩබැසීමක් සිදුවන්නේ නැහැ. නමුත් එය ඉන් පසු ව සිදු වන, සඳ මත ගොඩබසින Artemis – 3 මෙහෙයුම හා ඉන් පසු දිගහැරෙන ගොඩ බැසීම් මාලාවකට ම පිටිවහලක් වනු නො අනුමානයි.

NASA සහ BBC ඇසුරෙනි.

සත්‍ය හෙට්ටිආරච්චි

Leave a Comment

You may also like

logo2

1987 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ අඛණ්ඩව සතිපතා පළවන එක ම විද්‍යා ප්‍රකාශනය වන විදුසර විද්‍යා සඟරාව, නිවැරදි විද්‍යා දැනුම සරලව හා ආකර්ශනීයව ඉදිරිපත් කරමින් ලංකාවේ සිසු දරු දැරියන් හා සාමාන්‍ය ජනතාව අතර විද්‍යාව ප්‍රචලිත කිරීම උදෙසා කැප වී සිටියි.

Contact Us

via Email

via Phone

For Advertising

Our Publications