Home Science News වැසි වනයක සැඟවුණු මායා නගරයක් ගෝතමාලාවෙන් හමු වේ

වැසි වනයක සැඟවුණු මායා නගරයක් ගෝතමාලාවෙන් හමු වේ

by Sathya

ක්‍රිස්තු පූර්ව 1000ත් – 250ත් අතර අතීතයේ මායානු ශිෂ්ටාචාරයට අයත් ව තිබූ නගරයක නටඹුන් ගෝතමාලාවෙන් හමු වී තිබෙනවා. ඒ උතුරු ගෝතමාලාවේ වැසි වනාන්තරයක් ලෙස සැලකෙන Mirador-Calakmul Karst Basin නම් ද්‍රෝණියේ සිට යි.

මේ ගවේෂණය සඳහා අවැසි නිරීක්ෂණ කටයුතු සිදු කෙරු‍ණේ ගුවනේ සිට කරන ලද Lidar ආවේක්ෂණ මඟින්. Lidar ආවේක්ෂණ පහසුකම් සහිත ගුවන්යානයක සිට එල්ල කෙරෙන ලේසර් ධාරා යළි පරාවර්තනය වන ආකාරය අනුව යමින් භූමියේ ත්‍රිමාන සිතියමක් පරිගණකානුසාරයෙන් ඇඳීම මින් සිදු වනවා. ඊට ගස් කොළන් විනිවිද යමින් කෙළින් ම පොළොව මත පතිත වීමට හැකියි. එවැනි ක්‍රමවේදයන් යොදා ගනිමින් ආවේක්ෂණය කරීම මගින් මෙවැනි වනගත පෙදෙස් ආශ්‍රිත භූමි ප්‍රදේශය සඟවා සිටින රහස් සෙවීම වඩාත් පහසු කරනවා.

ආවේක්ෂණය මඟින් පර්යේෂකයන් අනාවරණය කරගත්තේ ගොඩනැඟිලි දහසට වැඩි ගණනක් සහ ඒවා යා වන පරිදි තැනූ කිලෝමීටර 160ක පමණ මුළු දිගකින් යුතු වූ මාවත් පද්ධතියක ද නටඹුන් එහි වැතිරී ඇති බවයි. එපමණක් නොව, මායානු ශිෂ්ටාචාරයේ අනන්‍යතාව බඳු වූ යෝධ පීඨිකා මෙන් ම පිරමීඩ ද ඇතුළුව ජලය රැස්කර තබා ගැනීම සඳහා තැනූ කෘත්‍රිම ජලාශ ද එහි ඇති බව පර්යේෂණ කණ්ඩායම වාර්තා කරන්නේ ඉකුත් 05 දා සිය පර්යේෂණ වාර්තාව පළ වූ  Ancient Mesoamerica ජර්නලයටයි.

මේ අධ්‍යයනයේ සම කර්තෘ වරයෙකු වන ඔස්ටින්හි ටෙක්සාස් විශ්වවිද්‍යාලයේ, භූ සහ පාරිසරික විද්‍යා අධ්‍යයනාංශයේ කටයුතු කරන Carlos Morales-Aguilar Live Science වෙත පවසා තිබෙන්නේ මෙවැනි මට්ටමේ දේශපාලනික මෙන් ම ආර්ථික වශයෙන් සමෝදානිත බවක් පෙන්නුම් කරන ඉපැරැණි නගරයක නටඹුන් බටහිර අර්ධගෝලයෙන් හමු වූ පළමු අවස්ථාව මෙය බවයි.

අධ්‍යයනයේ තවත් සම කර්තෘවරයෙකු වන භූ විද්‍යාඥ රොස් එනස්ලේ (Ross Ensley) පවසන්නේ මායාවරුනට Mirador-Calakmul Karst ද්‍රෝණිය ‘සුවබර වාස කලාපයක්’ වන්නට ඇති බවයි. ’මයාවරුන් මේ කලාපයේ වාසය කර තිබෙන්නේ එහි වාසස්ථාන ඉදිකිරීමට සුදුසු උස් භූමි මෙන් ම කෘෂිකර්මාන්තය සඳහා ඔබින පහත් භූමි පෙදෙසුත් පිහිටා තිබූ නිසයි. ඉහළ භූමි ප්‍රෙද්ශවලින් ඔවුන්ගේ මූලික ම ඉදිකිරීම් අමුද්‍රව්‍යය වූ හුණුගල් සැපයුණා මෙන් ම ජීවත් වීමට හොඳ වියලි තැන්නක් ද සපයනු ලැබුණා. කලින් කලට වගුරු බිම් බවට පත් වන කාබනික පසෙන් පොහොසත් පහත් බිම් වගාබිම් සඳහා ඉඩ සකසා දුන්නා.’ රොස් වැඩිදුරටත් සඳහන් කරනවා.

Scientific American ඇසුරෙනි.

සත්‍ය හෙට්ටිආරච්චි

Leave a Comment

You may also like

logo2

1987 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ අඛණ්ඩව සතිපතා පළවන එක ම විද්‍යා ප්‍රකාශනය වන විදුසර විද්‍යා සඟරාව, නිවැරදි විද්‍යා දැනුම සරලව හා ආකර්ශනීයව ඉදිරිපත් කරමින් ලංකාවේ සිසු දරු දැරියන් හා සාමාන්‍ය ජනතාව අතර විද්‍යාව ප්‍රචලිත කිරීම උදෙසා කැප වී සිටියි.

Contact Us

via Email

via Phone

For Advertising

Our Publications