Home Science News ජේම්ස් වෙබ් දුරේක්ෂයේ ඇස ඔරායන් නිහාරිකාවේ හදවත වෙත යොමුවෙයි.

ජේම්ස් වෙබ් දුරේක්ෂයේ ඇස ඔරායන් නිහාරිකාවේ හදවත වෙත යොමුවෙයි.

by cmadurawala

ආලෝක වර්ෂ 1,344ක් දුරින් පිහිටි ඔරායන් නිහාරිකාවේ (Orion Nebula – M 42) හදවත වෙතට ජේම්ස් වෙබ් අභ්‍යවකාශ දුරේක්ෂයට (JWST) අයත් NIRCam අධෝරක්ත කිරණ කැමරා ඇස යොමු ව තිබෙනවා.

විවිධ අධෝරක්ත පෙරහන් තුළින් ගත් ප්‍රතිබිම්බ 11ක් සංයුක්ත කිරීමෙන් ලබාගත් මේ දර්ශනීය ඡායාරූපය ජේම්ස් වෙබ් ලබා දුන්නේ, පසුගිය සැප්තැම්බර් 11 වැනි දා යි. තාරකාවල උපත සිදුවන තිඹිරිගෙයක් බඳු ඔරායන් නිහාරිකාව සිය ඡායාරූපයකට හසු කර ගැනීම ජේම්ස් වෙබ් දුරෙක්ෂයේ තවත් එක් සුවිශේෂ සන්ධිස්ථානයක් ලෙස හැඳින්විය හැකියි.

ඔරායන් නිහාරිකාවේ, ඔරායන් හදවත පිළිඹිබු කෙරෙන පරිදි ජේම්ස් වෙබ් දුරේක්ෂයේ NIRCam කාමරාවෙන් ලබා ගත් මේ ඡායාරූප මෙතෙක් කලකට අප දැක ඇති වඩාත් විස්තරාත්මක හා සුපැහැදිලි ම ඒවා බව තාරකා විද්‍යාඥයින් සඳහන් කරනවා.

එය ළදරු තාරකා බිහි වන ප්‍රදේශයක් බැවින් ගුරුත්වය යටතේ ඒකරාශී වන වායු සහ දූවිලි වලාවන් මගින් ආලෝකය අවහිර කෙරෙන නිසා ම ඒ තුළ සිදුවන ක්‍රියාවලි නිරීක්ෂණය කිරීමට අපහසුයි. කෙසේ නමුත් ජේම්ස් වෙබ් ඡායාරූපකරණය සඳහා යොදාගන්නේ දිගු තරංග ආයාමයකින් යුතු අධෝරක්ත කිරණ බැවින් දෘශ්‍ය වර්ණාවලීක්ෂය වැනි කෙටි තරංග ආයාම ඔස්සේ නිරීක්ෂණය කළ නොහැකි ලෙස දෘශ්‍ය පථය අහුරන දූවිලි වලාවන් විනිවිද දකින්නට එයට හැකියාව ලැබී තිබෙනවා.

ඒ අනුව මෙහි එක් ඡායාරූපයක පෙනෙන පරිදි මීට කලකට ඉහත දී හබල් දුරේක්ෂය ආලෝකය තුළින් දුටු ප්‍රදේශය ම දූවිලි තුළින් දැකීමට ජේම්ස් වෙබ්ගේ අධෝරක්ත නෙත සමත් ව තිබෙන අයුරු දැකගත හැකියි.

මේ නව ඡායාරූපයේ ඉහළ වම්පස සිට පහළ දකුණුපස දක්වා දිවෙන ඔරායන් දණ්ඩ (Orion Bar) නම් ව්‍යුහය වඩාත් පැහැදිලි ව දැකගත හැකියි.ත්‍රැපීසියම් පොකුර (Trapezium cluster) නම් තාරකා පොකුර මගින් එහි ඉහළ දකුණුපස කෙළවර ආලෝකවත් කෙරෙනවා. මේ පිළිබිඹුවේ ඇති තවත් සුවිශේෂ වස්තූන් වර්ගයක් වන්නේ ඇතුළත ළදරු තාරකා සහිත ගෝලිකා (Globules) යනුවෙන් හැඳින්විය හැකි ඝන ව ඒකරාශී වූ ද්‍රව්‍ය සමූහයන්.

මෙම පිළිබිඹුවෙහි දිස්වන දීප්තිමත් ම තරුව වන්නේ තීටා 2 ඔරියෝනිස් A තාරකාවයි.

සැබවින් ම එය තාරකා තුනකින් සමන්විත ත්‍රිත්ව තාරකා පද්ධතියක් ලෙස හැඳින්විය හැකියි.

“එපමණක් නොවෙයි. මෙහි ඝන සූත්‍රිකාවන් වැනි කෙඳි සමහරක් පැහැදිලිව දැකගත හැකියි. මෙම තන්තු ආකාර ව්‍යුහයන් මගින් දූවිලි ගහණ ප්‍රදේශවල සහ වායු වලාවේ ගැඹුරින් ඇති ප්‍රදේශ තුළ තාරකා බිහිවීම වර්ධනය කරනවා විය හැකියි.” ප්‍රංශයේ අභ්‍යවකාශ තාරකා භෞතික විද්‍යා ආයතනයේ තාරකා විද්‍යාඥ ඔලිවියර් බර්නි පවසනවා.

අපේ සෞරග්‍රහ මණ්ඩලය බිහි ව තිබෙන්නේ ඔරායන් නිහාරිකාවට සමාන පරිසරයක් තුළ බවයි විද්‍යාඥයින් උපකල්පනය කරන්නේ. එනිසා ම මෙවැනි ඡායාරූපවල දැක්වෙන සංකීර්ණ හා සියුම් තොරතුරුවලින් ග්‍රහ මණ්ඩල බිහිවන ආකාරය පිළිබඳව අනාගතයේ දී සවිස්තරාත්මක ව දැනගත හැකිවනු ඇතැයි අපේක්ෂා කළ හැකියි.

Science Alert ඇසුරෙනි.
ප්‍රේමශාන්ත කුමාරසිරි

Leave a Comment

You may also like

logo2

1987 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ අඛණ්ඩව සතිපතා පළවන එක ම විද්‍යා ප්‍රකාශනය වන විදුසර විද්‍යා සඟරාව, නිවැරදි විද්‍යා දැනුම සරලව හා ආකර්ශනීයව ඉදිරිපත් කරමින් ලංකාවේ සිසු දරු දැරියන් හා සාමාන්‍ය ජනතාව අතර විද්‍යාව ප්‍රචලිත කිරීම උදෙසා කැප වී සිටියි.

Contact Us

via Email

via Phone

For Advertising

Our Publications