ආලෝක වර්ෂ 350ක් පමණ දුරින් පිහිටි ළාබාල තරුවක් වටා ගමන් කරන පිටසක්වළ ග්රහලොවක් ( Exoplanet ) වෙත ජේම්ස් වෙබ් අභ්‍යවකාශ දුරේක්ෂයේ ඇස පළමු වරට යොමුව තිබෙනවා.
මේ වන විට NASA ආයතනය විසින් ස්ථිරව තහවුරු කර ඇති සෞර ග්‍රහ මණ්ඩලයෙන් බැහැර ක්ෂීර පථයේ තිබෙන පිටසක්වළ ග්‍රහලෝක සංඛ්‍යාව 5,084ක්. එහෙත් දුරේක්ෂ හරහා සෘජු නිරීක්ෂණයෙන් හඳුනාගෙන තිබෙන්නේ ඉන් ග්‍රහලෝක 20ක් පමණයි.
HIP 65426 b ලෙස හඳුන්වන මෙම ග්‍රහලොව 2017 වසරෙ දී මුල් වරට සොයාගැනුනක්. ඒ චිලී රාජ්‍යයේ යුරෝපීය දකුණු නිරීක්ෂණාගාරයේ පිහිටි Very Large Telescope ලෙසින් හැඳින්වෙන දුරේක්ෂයට අයත් SPHERE නම් උපකරණය මගින් කෙටි තරංග අධෝරක්ත විකිරණ තුළින් සිදු කළ නිරීක්ෂණ තුළින්. එහෙත් එවැනි භූමි පාදක දුරේක්ෂ වලින් හඳුනාගත නොහැකි දිගු තරංග ආයාම අධෝරක්ත විකිරණ වලට ජේම්ස් වෙබ් අභ්‍යවකාශ දුරේක්ෂය සංවේදී නිසාම එයට පිටසක්වළ ග්‍රහලෝක පිළිබඳ වැඩිමනත් තොරතුරු අනාවරණය කළ හැකියි.
” මේක පරිවර්තනීය මොහොතක්. ඒක ජේම්ස් වෙබ් දුරේක්ෂයට පමණක් නොව සමස්ත තාරකා විද්‍යාවටම වැදගත් වන මොහොතක්. “
එක්සත් රාජධානියේ එක්ස්ටර් සරසවියේ තාරකා සහ භෞතික විද්‍යාඥවරියක වන සාෂා හින්ක්ලි එසේ පවසනවා.
ජේම්ස් වෙබ් අභ්‍යවකාශ දුරේක්ෂය මගින් අධෝරක්ත විකිරණවල විවිධ තරංග ආයාම හතරක් යටතේ ඉතා සවිස්තරව මෙම ග්‍රහලොව ඡායාරූපගත කර තිබෙනවා. මෙම ග්‍රහලොව පාෂාණමය ඝන මතුපිටක් නැති වායුමය යෝධ ග්රහලොවක් වෙනවා. එනිසා ජීවීනට වාසයෝග්යතාවක් නොමැති මෙම ග්‍රහලොව අපේ බ්‍රහස්පති ලොව මෙන් 7.1වාරයක ස්කන්ධයක් ඇති අතර එහි වයස පෘථිවියේ වයසට වඩා බෙහෙවින් අඩුයි. එනම් වසර මිලියන 15 සිට 20 දක්වා කාලයක් පමණයි.
HIP 65426 b ග්‍රහලොවේ මව් තාරකාව වන HIP 65426 හෙවත් HD 116434 තරුව, ප්‍රධාන අනුපිළිවෙළට අයත් වන A – වර්ගයේ තාරකාවක්. ග්‍රහලොව, තරුව වටා පරිභ්‍රමණය වන්නෙ පෘථිවිය සහ සූර්යයා අතර ඇති දුර මෙන් 110 වාරයක් තරම් අධික දුරකින් යුක්තවයි.
” ග්‍රහලොවේ මෙම ඡායාරූප ලබා ගැනීම අභ්‍යකාශයේ නිධානයක් හෑරීමට සමානයි. මුලින් ම මට දකින්නට හැකි වුණේ තරුවේ ආලෝකය විතරයි. එහෙත් සුපරීක්ෂාකාරී ප්‍රතිබිම්බ සැකසීම මගින් මට පුලුවන් වුණා තරුවේ එළිය ඉවත් කර ග්‍රහලොව නිරාවරණය කරගන්න.
ජේම්ස් වෙබ් දුරේක්ෂයෙන් ලබාගත් ග්‍රහලොවේ ප්‍රතිබිම්බ විශ්ලේෂණයට නායකත්වය දුන් එක්සත් ජනපදයේ කැලිෆෝර්නියා සරසවියේ පශ්චාත් ආචාර්ය උපාධි පර්යේෂක Aarynn Carter පවසනවා. මෙම ඡායාරූපවල තරු සලකුණකින් ලකුණු කර ඇත්තේ එසේ ආවරණය කරන ලද තාරකාව පිහිටි ස්ථානයයි.
Science Alert ඇසුරිනි.
ප්‍රේමශාන්ත කුමාරසිරි.