Jason M. Allen නමැති පරිගණක ක්‍රීඩා නර්මාණ ශිල්පියා විසින් පසුගිය දා අමෙරිකාවේ කොලරාඩෝ හි පැවැති Colorado State Fair Fine Arts Competition කලා තරගයේ “විද්‍යුත් කලා නිර්මාණ/ විද්‍යුත් ව සකසන ලද ඡායාරූප” අංශයෙන් ප්‍රථම ස්ථානය දිනාගනු ලැබුණා. ඒ කෘත්‍රිම බුද්ධිය පාදක කරගෙන සිතුවම් අඳින මාර්ගගත මෙවලමක් වන MidJourney යොදාගෙන අඳින ලද සිතුවමක් ඉදිරිපත් කිරීමෙන්. ඔහු මේ චිත්‍රය නම් කර ඇත්තේ Théâtre D’opéra Spatial නමින්. එය ඉංග්‍රීසි බසින් නම් Space Opera Theatre (අජටාකාශ ඔපෙරා රඟහල) ලෙස අරුත් ගැන්විය හැකියි. තරඟයෙන් ජයග්‍රහණය කිරීම වෙනුවෙන් ඔහුට ත්‍යාග ලෙස ඩොලර් 300ක මුදලක් හිමි වී තිබුණා.
තරගයේ “විද්‍යුත් කලා නිර්මාණ” අංශය වෙන් ව පැවතියේ නැඟී එන කලාවක් ලෙස හඳුනා ගැනෙන, පරිගණක ආධාරයෙන් අඳින සිතුවම් ප්‍රදර්ශනය කිරීම සඳහායි. මේ තරඟ අංශය සඳහා තරගකරුවන් 11 දෙනෙකු විසින් නිර්මාණ 18ක් ඉදිරිපත් කරනු ලැබ තිබුණා.
ඇලන්ගේ මේ කෘත්‍රිම බුද්ධි සිතුවම පුනරුද සමයේ චිත්‍ර ශෛලියේත්, ස්ටීම්පංක් චිත්‍ර ශෛලියේත් සම්මිශ්‍රණයක් ලෙස පෙන්වා දිය හැකියි. “අජටාකාශ ඔපෙරා රඟහල” අදාළ අංශයෙන් ප්‍රථම ස්ථානය දිනාගැනීමත් සමග උද්දාමයට පත් වූ ඇලන්, මේ බව ඒ බව දන්නමින් තම Discord පිටුවේ සටහනක් එක් කළා. ඉන් නො නැවතුණු මේ පුවත twitter සමාජ ජාලය ඔස්සේ වැඩි කතා බහකට ලක් වන්නට වූයේ සාම්ප්‍රදායික චිත්‍ර ශිල්පීන්ගේ ඍණාත්මක ප්‍රතිචාර මැදයි. සැලකිය යුතු කාලයක පටන් ‘කෘත්‍රිම බුද්ධි චිත්‍රණ මෙවලම්වල ආගමනයත් සමගින් සාම්ප්‍රදායික චිත්‍ර කලාවේ අවසාන වනු ඇත් ද?’ මැයෙන් දිගහැරෙමින් තිබූ සංවාදයන් මේ සිදුවීම නිසා නැවතත් අලුත් වුණා.
ඇතැමෙකු ඒ යටින් කමෙන්ටුවක් ලෙස සටහන් කර තිබුණේ “මේ වැඩේ හොඳ යමක් නො වෙන්නේ, අපි ඔලිම්පික් තරගවල දී රොබෝවන් සහභාගී කර නො ගන්නා හේතුව නිසා ම යි.” යනුවෙන්. පරිගණක යතුරු පුවරුවේ බොත්තම් දෙක තුනක් තදකර ඇඳි සිතුවමක් මිනිස් කලාවක් ලෙස සලකන්නේ කෙසේ දැයි ඇතැම් පිරිස් දෝශාරෝපණය කර තිබුණා.
ජේසන් ඇලන් පවසන්නේ තමාගේ සිතුවම නිසා කෘත්‍රිම බුද්ධියෙන් නිර්මාණය කෙරෙන කලාකෘති පිළිබඳ අදාළ ක්ෂේත්‍රයේ වෘත්තිකයන් අතර කතිකාවක් ගොඩ නැගීම ගැන තමා සතුටින් පසුවන බවයි. නමුත් එය ඇතැමුන් පවසන පරිදි විනාඩියෙන් දෙකෙන් නිර්මාණය කළ සිතුවමක් නො වන බව ඔහු සඳහන් කර තිබුණා. ඔහු පවසන්නේ මෙය සම්පූර්ණ කිරීම සඳහා පැය 80ක කාලයක් වැය කරන්නට සිදු වූ බවයි. මේ අවසන් ප්‍රතිඵලය ලබා ගැනීම සඳහා නවසිය වතාවක් වෙනස්කම් සිදු කරන්නට සිදු වූ බව ඔහු සඳහන් කරනවා. MidJourney ඔස්සේ යතුරු වදන් ලබා දී ඇඳගත් සිතුවම අවසානයේ දී Gigapixel AI නමැති තවත් කෘත්‍රිම බුද්ධි පාදක යෙදවුමක් හරහා විභේදනය වැඩි කරගැනීමෙන් අනතුරු ව කැන්වස් රෙද්දක් මත මුද්‍රණය කර ප්‍රදර්ශනය වෙත ඉදිරිපත් කර තිබෙනවා. ඔහු සඳහන් කරන්නේ සාම්ප්‍රදායික වශයෙන් සිතුවම් අඳින්නට හැකියාවක් නැති කලාකාමී පුද්ගලයන් හට සිතුවම්කරණයේ නිරත වීමට මෙවැනි කෘත්‍රිම බුද්ධි පාදක මෙවලම් මගින් අවස්ථාව සැලසෙන බවයි. ඊට තව තවත් ඉඩ ලබා දිය යුතු බව තමන් විශ්වාස කරන බවත් ඔහු පවසනවා.
තරගයේ විනිශ්චය මණ්ඩලයේ කටයුතු කළ වෘත්තියෙන් චිත්‍ර ශිල්පියෙකු මෙන් ම චිත්‍ර ගුරුවරයෙකු ද වන කැල් ඩියුරන් පවසන්නේ මුලින් තමා මේ සිතුවම දුටු විට එය අතින් අඳින ලද්දක් යැයි සිතූ බවයි. ඔහු එය “ලස්සන කලාකෘතියක්” ලෙස හඳුන්වා දෙනවා.
CNN ඇසුරෙනි
සත්‍ය හෙට්ටිආරච්චි