මිනිසෙකු මියගිය පසු බොහෝ අපරදිග රටවල සිදුකෙරෙන්නේ මිහිදන් කිරීමයි. ඉන්දියාව, ශ්‍රී ලංකාව වැනි ඇතැම් ආසියාතික රටවල නම් ඒ වෙනුවට ආදාහනය කිරීමත් යම් යම් වශයෙන් සිදුවනවා. මිනිසෙකුගේ මිය යෑම ආශ්‍රිතව සිදුවන ක්‍රියාවලිය නිසා කාබන් විශාල ප්‍රමාණයක් පරිසරයට මුදාහැරෙනවා. බොහෝවිට මිහිදන් කළ පසු තම මියගිය සමීපතමයා සිහිපත් කිරීමට කොන්ක්‍රීට් සොහොන් කොත් ආදී විවිධ ඉදිකිරීම් තනන්නට මිනිසුන් පුරුදු වී තිබෙනවා. එමගින් සිදුවන්නේත් පරිසරයට අමතර බරපැණක් පැටවීමයි. යමෙකුගේ මරණයකට අදාල මේ සියලු ගැටලු නිරාකරණය කරමින් “හරිත අවමංගල්‍ය” සංකල්පය බිහිවී තිබෙනවා.
දෙනක් තුළ දී නම් වසර ගණනාවක් පුරා කෙමෙන් දිරාපත් වන මෘත ශරීරය, දින තිහක් වැනි සුළු කාලයක් තුළ දිරාපත් වීමට සලස්වා කාබනික පොහොර තැනීම සඳහා භාවිතා කිරීම වර්තමානය වන විට ලෝකයේ ඇතැම් රටවල සිදුවෙමින් පවතිනවා. ඇමරිකාවේ, වොෂිංටනයේත් මෘත දේහ ස්වභාවික ව දිරාපත් වීමට ඉඩහැරීම ප්‍රවර්ධනය කරමින් පවතිනවා. ඒ සඳහා ඉදිකර ඇති කුටිවල පිදුරු, පස් හා අතු ඉති අඩංගුයි. මෘත දේහය ඇතුළු කර මාසයක කාලය තුළ එය මුළුමනින් ම දිරාපත් වී කොම්පෝස්ට් පොහොර බවට පත් වනවා. අනතුරුව එම පස පොහොර වශයෙන් යෙදීමට උද්‍යානයක් වෙත යැවෙනවා.
මෙය ඇරුණු විට යොදාගත හැකි තවත් විකල්ප ක්‍රමයක් තිබෙනවා. එය හැඳින්වෙන්නේ ‘Mushroom suit’ යනුවෙන්. මෙම ක්‍රමවේදය හඳුන්වා දී ඇත්තේ Coeio සමාගම විසින්. සමාගම පවසන පරිදි මේ බහාලුම නිර්මාණය කර ඇත්තේ හතු සමග තවත් ක්ෂුද්‍ර ජීවී කාණ්ඩයන් එක් කරමින්. මෘත ශරීරය ඇතුළු කළ පසු ක්ෂුද්‍ර ජීවීන් ක්‍රියාත්මක වී දිරාපත් වීමේ දී පරිසරයට මුසු වන අහිතකර ධූලකයන් උදාසීන කරනවා.
මරණය යනු නියතයක් වුවත් පරිසරයට සෑම අතින් ම හිතකර අවසන් කටයුත්තක් සිදුකිරීම තාක්ෂණයට තනිව ම කළ හැක්කක් නොවෙයි. විවිධ ආගම්වල මරණයට දක්වා ඇති අර්ථ නිරූපණයන් විවිධාකාරයි. එනිසා එමගින් මිනිසාගේ ආධ්‍යාත්මයට එල්ල කරන භාරය හුදෙක් තාක්ෂණයේ දියුණුවෙන් පිරිමසාගත හැක්කක් නොවෙයි. ඊට සමගාමීව ආකල්පමය වෙනසක් ද විය යුතුයි. වළදැමූ තැනත් මාලිගා වැනි සොහොන් ගැබ් නො තනන්නට මෙන් ම උපන් බිම මත එකඳු සලකුණක් නො තියා හුදු පස් පිඬක් වන්නට මිනිසා ඉගෙන ගත් තැන ලෝකය වඩාත් අර්ථවත් තැනක් වනු ඇතැයි බලාපොරොත්තු තබාගත හැකියි.
සත්‍ය හෙට්ටිආරච්චි