Home FeaturesFuture අච්චුගැහෙන ඇටකටු

අච්චුගැහෙන ඇටකටු

by cmadurawala

ත්‍රිමාන මුද්‍රණය (3D printing) අද වනවිට බොහෝ ප්‍රචලිත තලයකට පැමණ තිබෙනවා. මුද්‍රණ ක්ෂේත්‍රෙය් ඇති වූ මේ ත්‍රිමානකරණයත් සමග අඩු පිරිවැයකින් යුතු නිවෙස් අදී බොහෝ නව්‍යාංගයන්ගේ පහස විඳින්නට මිනිසාට හැකියාව ලැබුණා. ත්‍රිමාන මුද්‍රණය මගින් වෙනත් ග්‍රහලෝක මත මානව ජනාවාස ගොඩනැගිලි ඉදිකිරීම ගැන පවා අද වන විට සංකල්පයන් ඉදිරිපත් වෙමින් පවතිනවා.

විවිධ පැතිකඩවලින් මිනිසාට සුව පහසුව ගෙන එන ත්‍රිමාන මුද්‍රණ තාක්ෂණය මගින් වෛද්‍ය ක්ෂේත්‍රයටත් සිදුවන්නේ සුළුපටු මෙහෙයක් නොවෙයි. වෛද්‍ය ක්ෂේත්‍රයට අදාලව ත්‍රිමාන මුද්‍රණ කටයුතු සිදුකිරීමෙහි ලා විශේෂඥ දැනුමක් උසුලන Ossiform සමාගම මේ වනවිට කෘත්‍රිම අස්ථි කොටස් මුද්‍රණය කිරීමට යොමු වී තිබෙනවා. රෝගීන් සඳහා වෙනම ම නිර්මාණය කෙරෙන මේවා තැනීම සඳහා අමුද්‍රව්‍ය වශයෙන් යොදා ගැනෙන්නේ ට්‍රයිකැල්සියම් පොස්පේට්. එය සැබෑ මානව අස්ථිවලට බොහෝ දුරට සමාන ගුණාංගයන්ගෙන් යුක්තයි.

රෝගියා රෝහල්ගත වී සිදුකරන MRI සුපරීක්ෂණ සැසියකින් අනතුරුව කෘත්‍රිම අස්ථි කොටසක අවශ්‍යතාවයක් තිබේ දැයි හඳුනා ගැනෙනවා. අනතුරුව රෝහල මගින් ඒ වාර්තා Ossiform සමාගම වෙත යැවෙන අතර මුද්‍රණය කිරීමට පෙර ත්‍රිමාන පරිගණක ආකෘතියක් තනා වෛද්‍ය අනුමැතිය ලබා ගැනෙනවා. ත්‍රිමාන මුද්‍රණ යන්ත්‍ර යොදාගෙන අස්ථි කොටස මුද්‍රණය කෙරෙන්නේ ඉන් පසුවයි. මෙසේ නිමවන අස්ථිය ශල්‍යකර්මයක් මගින් පහසුවෙන් ස්ථානගත කළ හැකියි.

මේ සඳහා අමුද්‍රව්‍ය වශයෙන් ට්‍රයිකැල්සියම් පොස්පේට් යොදා ගැනීමටත් සුවිශේෂ හේතුවක් තිබෙනවා. එනම් එමගින් බද්ධ කරන ලද නව අස්ථිය වාහිණික අස්ථියක් බවට පත් කිරීමට දක්වන සමත්කමයි. ඉන් ස්වභාවික අස්ථියකින් සිදුවන කෘත්‍යය එලෙසින් ම ඉටු කිරීමට හැකියාව ලැබෙනවා. නව අස්ථියත්, මානව පටකත් අතර වඩාත් සවිමත් මුහුවක් ඇති කිරීමේ අරමුණින් මේවා මතුපිට සිහින් අගල් හා සිදුරු තනා තිබෙනවා.

සත්‍ය හෙට්ටිආරච්චි

Leave a Comment

You may also like

logo2

1987 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ අඛණ්ඩව සතිපතා පළවන එක ම විද්‍යා ප්‍රකාශනය වන විදුසර විද්‍යා සඟරාව, නිවැරදි විද්‍යා දැනුම සරලව හා ආකර්ශනීයව ඉදිරිපත් කරමින් ලංකාවේ සිසු දරු දැරියන් හා සාමාන්‍ය ජනතාව අතර විද්‍යාව ප්‍රචලිත කිරීම උදෙසා කැප වී සිටියි.

Contact Us

via Email

via Phone

For Advertising

Our Publications