Home FeaturesFuture බබා ඇඬිලි පරිවර්තකය

බබා ඇඬිලි පරිවර්තකය

by cmadurawala

දරුවෙකු බිහිවන්නේ හැඬීමත් සමඟයි. ඒ අනුව බලන විට මිනිසාගේ මුල් ම අභිනය වන්නේ හැඬීමයි. කුඩා බිලිඳෙකු හඬන විට ඔහු හෝ ඇය හඬන්නේ කුමක් නිසා දැයි සෙවීම ඇතැම් විටෙක අපහසු දෙයක්. බිලිඳා භාෂාව හැසිරවීමට නො දන්නා නිසා ඔවුට තම ප්‍රශ්නය වචනයෙන් පහදා දිය නො හැකියි. එනිසා ඒ වෙනුවට බිලිඳා කරන්නේ හැඬීමයි.

බිලිඳුන්ගේ හැඬීමේ අරමුණ පහදාගත හැකි පරිවර්තකයක් ස්විට්සර්ලන්තය සහ බාසිලෝනාව පාදක කරාගන පිහිටා ඇති Zoundream සමාගම නිපදවා තිබෙනවා. කුඩා දරුවන්ගේ “හැඬීමේ භාෂාව” හඳුනාගත හැකි මෙය කෘත්‍රිම බුද්ධි මෙවලමක්. සමාගම පවසන්නේ කුඩා දරුවන් හඬන්නේ ඔවුන්ට යමක් අවශ්‍ය වූ විට බවයි.

Zoundream සමාගම සිය ස්ව ඉගෙනුම් මෘදුකාංගයට ලොව පුරා දහස් සංඛ්‍යාත බිලිඳුන් ප්‍රමාණයකගේ හැඬීම් හඬපට අධ්‍යයනය කරන්නට ඉඩ සලසා දී තිබෙනවා. පසුව ඒ හැඬීම් කුසගින්න, වේදනාව, වාතය සහ සිපගැනීමක් උවමනා විට ආදී වශයෙන් ප්‍රධාන කොටස් හතරකට වර්ගීකරණය කර තිබෙනවා.

කුඩා දරුවන් සන්නිවේදනයේ යෙදෙන්නට උත්සාහ කරන්නේ යම්කිසා තානමය නාදයක් නිකුත් කිරීම මගින්. මෙය සිදුකිරීමට ඔවුන් පෙළඹෙන්නේ ගර්භාශය තුළ දී ම බවයි පැවසෙන්නේ.

Zoundream සමාගම සිය BabyT පරිවර්තක උපාංගය මේ වසරේ වෙළෙඳපොළට හඳුන්වා දීමට නියමිතයි. කෙසේ නමුත් ඔවුන් මීට පෙර අවස්ථාවල දී මේ උපාංගයේ මූලාකෘති නොමිලේ ම ලබා දීමට කටයුතු කළා. ඒ එමගින් රැස් කරගන්නා ශ්‍රව්‍ය දත්ත තම සමාගම හා හුවමාරු කරගැනීමේ කොන්දේසිය මතයි. ඒ මගින් ලබාගත් දත්තයන් ද BabyT උපාංගය වඩාත් සුමට, සුහුරු තලයකට ගෙන ඒමට උපකාරී වී තිබෙනවා.

දෙමාපිය සෙනෙහස සහ දරුවා අතරට පනින කෘත්‍රිම බුද්ධි මෙවලම ඇතැමුන් අවරගණයේ දෙයක් ලෙස සැලකුවත් සමාගම පවසන්නේ මෙය දෙමාපියන් හා දරුවන් අතර බැඳීම දියකර හරින්නක් නොව බැඳීම තව තවත් වැඩි කරන්නක් බවයි. දරුවාගේ සිතැඟි තේරුම් ගැනීමට හැකිවීම මගින් සිදුවන්නේ දරුවාත් දෙමාපියනුත් අතර අන්‍යොන්‍ය අවබෝධය වැඩි වීම බව ඔවුන් පවසනවා.

සත්‍ය හෙට්ටිආරච්චි

Leave a Comment

You may also like

logo2

1987 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ අඛණ්ඩව සතිපතා පළවන එක ම විද්‍යා ප්‍රකාශනය වන විදුසර විද්‍යා සඟරාව, නිවැරදි විද්‍යා දැනුම සරලව හා ආකර්ශනීයව ඉදිරිපත් කරමින් ලංකාවේ සිසු දරු දැරියන් හා සාමාන්‍ය ජනතාව අතර විද්‍යාව ප්‍රචලිත කිරීම උදෙසා කැප වී සිටියි.

Contact Us

via Email

via Phone

For Advertising

Our Publications