Features Health දාහත්වෙනි බදාදා RashiJanuary 10, 20240201 views ළමයි, ඔයාලට මතකද එදා අපි ඉගෙන ගත්තා ගැහැණු ළමයෙක් වැඩිවියට පත් වෙනවත් එක්කම එයාගේ ආර්තව චක්රය කියලා එකක් පටන් ගන්නවා කියලා. ඔන්න අද අපි ඉගෙන ගන්න යන්නේ ආර්තව චක්රය, එහෙමත් නැත්නම් ඔසප් චක්රය ගැන. වැදගත්ම දේ මොකද්ද දන්නවා ද? මේ ගැන දැනගන්න ඕන ගෑණු ළමයි විතරක් නෙවෙයි. පිරිමි ළමයිනුත් මේ ගැන හරියටම දැනගන්න ඕන. ඒ ඇයි කියලා මම පස්සෙ කියන්නම්. ඔන්න අද පාඩම හරියට තේරුම් ගන්න නම් අපිට කලින් දවස් වල ඉගෙනගත්ත සමහර දේවල් උවමනා වෙනවා. ඔයාලට මතක ඇති ස්ත්රී ප්රජනක පද්ධතිය ඉගෙන ගන්න කොට කිවුවා ස්ත්රී ප්රජනක පද්ධතියේ ගර්භාශය දෙපැත්තෙන් ඩිම්බ කෝශ දෙකක් තියෙනවා කියලා. ගැහැණු ලමයෙක් ඉපදෙන කොටම ඔන්න ඔය ඩිම්බ කෝශය ඇතුලේ තියෙනවා නොමේරූ ඩිම්බ ලක්ෂ ගාණක්. ගැහැණු ළමයෙක් වැඩිවියට පත්වෙන වයසට එනකොට මේ ඩිම්බ එකින් එක මෝරන්න පටන් ගන්නවා. මාසෙකට සැරයක්, හරියටම කිවුවොත් දවස් විසි අටකට සැරයක් මේ ඩිම්බ කෝශ දෙකෙන් එක ඩිම්බ කෝශයක් මේරූ ඩිම්බයක් පිටකරනවා. ඔන්න ඔය ඩිම්බය පිටකරන එකට අපි කියන්නේ ”ඩිම්බ මෝචනය ”කියලා. ඩිම්බ කෝශ දෙක මාරුවෙන් මාරුවට තමයි මේ ඩිම්බ පිට කරන්නේ. ඒ කියන්නේ මේ මාසෙ දකුණු පැත්තේ ඩිම්බ කෝශය ඩිම්බයක් පිට කලොත් ඊලඟ මාසෙ වම් පැත්තෙ ඩිම්බ කෝශයෙන් තමයි ඩිම්බයක් පිට වෙන්නේ. ඔන්න ඔය පිට කරන ඩිම්භය හිමින් එනවා අර අපි ඉගෙන ගත්ත පැලෝපීය නාලය ඇතුලට. ඔන්න අපි හිතමු මේ ඩිම්බය පිට වෙන දවස් වලම ඒ කාන්තාව පිරිමි කෙනෙක් එක්ක ලිංගිකව එකතු වෙලා පිරිමියා පිටකරපු ශුක්රාණු එයාගේ ගර්භාශය ඇතුලට ආවා කියලා. ඔන්න එතකොට ඒ ශුක්රාණු පීනගෙන එනවා ගර්භාශය ඇතුලෙන් පැලෝපීය නාලය පැත්තට. ඩිම්බයත් දැන් තියෙන්නේ පැලෝපීය නාලය ඇතුලෙ නේ. ඉතින් ඔන්න පැලෝපීය නාලය ඇතුලේදි මේ ඇහැට නොපෙනෙන ඩිම්බයයි, අර පීනගෙන ආපු ලක්ෂ ගානක් ශුක්රාණු වලින් එකකුයි මුණ ගැහෙනවා. මුණ ගැහිලා ඩිම්බයයි ශුක්රාණුවයි එකතු වෙනවා. ඔයාලට මතකද අපි එහෙම ඩිම්බයයි ශුක්රාණුවයි එකතු වෙනවට මොකද්ද කිවුවේ කියලා. ? ”සංසේචනය වෙනවා”කියලා ටීචර් ඔයාලා නියමයි නේ.. ඔව්. ඩිම්බයයි ශුක්රාණුවයි එකතු වෙලා හදනවා යුක්තාණුව කියලා එකක්. ඔන්න මේ යුක්තාණුව බෙදිලා පොඩි සෛල ගුලියක් වෙලා එනවා ගර්භාශය ඇතුලට. ඇවිත් ගර්භාශ බිත්තියේ ඇතුල් පැත්තේ තැන්පත් වෙනවා. අන්න එහෙම තැන්පත් වුනාම තමයි අපි කියන්නේ ඒ ගැහැණු කෙනා ගර්භණී වුනා කියලා. ඊට පස්සෙ වෙන්නෙ මොකක්ද කියලා අපි ගර්භාශය ඇතුලේ බබා වැඩෙන හැටි ඉගෙන ගන්න කොට හොඳින් ම පැහැදිලි කර ගත්තානේ. ඔන්න දැන් අපි අලුත් දෙයක් ඉගෙන ගන්නවා. ඔය විදිහට ඩිම්බයයි ශුක්රාණුවයි එකතු වෙලා ඇවිත් තැන්පත් වෙන්න නම් ගර්භාශය ඇතුල් පැත්තේ බිත්තිය ඒකට සූදානම් වෙලා ඉන්න ඕන. ඩිම්බය පිටවෙන්න ලං වෙනකොට මේ බිත්තිය වැහෙන්න රුධිර නාල ගොඩක් හැදෙනවා. එහෙම වෙලා බිත්තිය බලා ගෙන ඉන්නවා බැරි වෙලාවත් ශුක්රාණුවක් ඇවිත් අර පිටවෙන ඩිම්බය එක්ක සංසේචනය උනොත් ඒ හැදෙන සෛල ගුලිය තැන්පත් කරගෙන බබෙක් හදන්න. හැබැයි හැම දවස් විසි අටකටම සැරයක් ඩිම්බයක් පිට වුනාට ඩිම්බය සංසේචනය වෙන්න නම් ඩිම්බය පිටවෙන දවස් වලම ඒ ගැහැණු කෙනාගේ ගර්භාශය ඇතුලට ශුක්රාණුවක් එන්න ඕන. ඒ කියන්නේ ඒ ගැහැණු කෙනා ඩිම්බය පිටවෙන දවස් වල ම පිරිමි කෙනෙක් එක්ක ලිංගිකව එකතු වෙන්න ඕන. එහෙම වුනොත් විතරයි ඩිම්බය ශුක්රාණුවත් එක්ක එකතු වෙලා ඒ කියන්නේ සංසේචනය වෙලා ගැහැණු කෙනා ගර්භණී වෙන්නේ. ඩිම්බය ආවට ශුක්රාණුවක් ආවෙ නැත්නම් මොකද වෙන්නෙ දන්නවා ද? ඩිම්බය ගර්භාශය ඇතුලට ඇවිත් ඉබේම නැතිවෙලා යනවා. එතකොට අර ගර්භාශ බිත්තිය ඇතුල් පැත්තේ හැදිලා තියෙන රුධිර නාල වලින් ආයෙ වැඩක් නෑ. මොකද තැන්පත් වෙන්න සෛල ගුලියක් හැදිලා නෑ නෙ. එතකොට ගර්භාශ බිත්තිය මොකද දන්නවා ද කරන්නේ? එයා අර හැදිලා තියෙන රුධිර නාල ඔක්කොම කඩලා අයින් කරනවා. එතකොට ඉතින් ගර්භාශය ඇතුලෙන් ලේ ගලන්න ගන්නවා. අන්න ඒ ලේ තමයි ආර්තවය, එහෙමත් නැත්නම් ඔසප් වීමේදී එළියට එන්නේ. ඒකටම තමයි මෙන්සස් හැදෙනවා, පීරියඩ්ස් හැදෙනවා, කියලා කියන්නේ. අපි ඊලඟ දවසේදී මේ ගැන ටිකක් වැඩිපුර කතා කරමු. ඔයාලට ප්රශ්නත් ඇතිනේ ඒ ගැන. එහෙනම් අදට පන්තිය ඉවරයි.