චීනය සිය දිගුකාලීන අභ්‍යවකාශ මෙහෙයුමේ තවත් එක් සීරුමාරු ඉදිරි පියවරක් තබමින් දැනට ගොඩනැගෙන ටියෑන්ගොන්ග් – Tiangong, නමැති චීන අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ මධ්‍යම කොටස වන ටියෑන්හේ – Tianhe, මොඩියුලය වෙත චීන ගගනගාමීන් තිදෙනකු පිටත් කර හැරියේ ය. චීන කොමියුනිස්ට් පක්‍ෂයේ ශත සංවත්සරයට ඔන්න මෙන්න කියා තිබිය දී සිදු කළ මේ අභ්‍යවකාශ මෙහෙයුම එරට තනි ව අභ්‍යවකාශය ජයගත් රටවල් අතර මුල් තැන ගත් රටක් බවට පත් කළේ ය. එය චීනය විසින් මෙතෙක් දියත් කළ දීර්ඝතම සහ සාර්ථක අභ්‍යවකාශ මෙහෙයුමයි. එසේ ම ලෝකයේ තමන්ගේ ම කියා අභ්‍යවකාශ මධ්‍යස්ථානයක් තනාගන්නට සමත් වූ රටවල් අතර 3 වැනි රට බවට පත් වන්නට චීනය ඔසවා තැබූ මෙහෙයුමකි. එය කල්යල් බලා ස්ථිර – ස්ථාවර පියවර තබමින් ඉබි ගමනින් ආ දිගු ගමනක ප්‍රතිඵලයකි.
චීනය මෑතකාලීන ව එක පොදියට වාගේ සිදු කළ සාර්ථක අභ්‍යවකාශ මෙහෙයුම් නිසා එරට අභ්‍යවකාශ ක්‍රියාන්විතය ගැන ලෝක අවධානය යොමු විය. එනමුත් චීනය තමන්ගේ ම වූ අභ්‍යවකාශ මෙහෙයුමක් ගැන සිතන්නට වූයේ බොහෝ කලකට පෙර සිට ය. ඇත්තෙන් ම චීන කොමියුනිස්ට් පක්‍ෂයේ උපතත් සමග ය. ලෝකයේ රොකට් තැනූ මුල් ම රට බවට අදටත් ඉතිහාසගත ව ඇත්තේ චීනයයි. ඉපැරැණි චීන අධිරාජ්‍යයේ යුද්ධයන් ජයගෙන බලය පතුරුවා හරින්නට චීනයට හැකි වූයේ ඔවුන් සතු ව තිබූ රොකට් බලය නිසා ය. එනමුත් රතු බලය පැමිණෙන තුරු එය ඉපැරැණි යල්පැන ගිය තාක්‍ෂණයක් පමණක් ව තිබිණි. ලෝකය ම විස්මයෙන් ඇළලී ගිය සිද්ධිය වූයේ ඔන්න ඔය අතර ය.
චීන අභ්‍යවකාශ වැඩසටහනේ ඇරඹුම
එදා 1957 ඔක්තෝබර් 04 දා ය. උඩු ගුවනේ සිට ලෝකයේ පළමු වතාවට මිනිසෙක් කතා කළේ ය. Sputnik 1, මුල් ම අභ්‍යවකාශ යානයෙන් උඩු ගුවනට ගිය පළමු මිනිසා ය. සෝවියට් දේශයේ (අද රුසියාවේ) යූරි ගගාරින් ය. මේ හඬින් ලොව බොහෝ රටවල් සහ නායකයෝ කැළඹී ගියෝ ය. ඒ සතුට සහ පසුතැවීම කැටි වූ ශෝකයකිනි. නව චීනයේ නිර්මාතෘ මාඔ සේතුං ද ඒ අතර විය. රොකට් තාක්‍ෂණය හිමි චීන ජාතිය තවමත් මහ පොළොව මත සිටීම ඔහු රිස්සුවේ නැත. මේ නිසා ම ඔහු 1958 මැයි මස 17 පැවැති සිය පක්‍ෂයේ මහා සභාව අමතා චීනය ද නො පමා ව ම අභ්‍යවකාශයේ සිය අයිතිය තහවුරු කරගත යුතු බව කීවේ ය. මේ කතාවේ ප්‍රතිඵලය වූයේ 581 ව්‍යාපෘතියයි (Project 581). ඒ ව්‍යාපෘතිය චීන අභ්‍යවකාශ තරණ වැඩසටහනේ ආරම්භයයි. එය ක්‍රමානුකූල වැඩසටහනකි. චීනය මුලින් ම පර්යේෂණ රොකට්ටු අත්හදා බලා දෙවැනුව සිය රොකට් විදින පාදම ලෙස භාවිත කළ Base 603 මඟින් 1964 දී සුදු මීයන් 8 දෙනකු උඩු ගුවනට යැවීමට කටයුතු කළේ ය. මේ අතර ඇමෙරිකාව සහ සෝවියට් දේශය අතර අභ්‍යවකාශ තරගය ඇරැඹී තිබුණේ හඳ අල්ලන්නට ය. සභාපති මාඕ සේතුං සහ අණ්ඩුවේ ප්‍රධානී චෞ එන්ලායි අතර එකඟතාවකට අනුව චීනය ද මිනිසුන් උඩු ගුවනට යැවිය යුතු බවට තීන්දු විය. ඒ සඳහා නව තොටුපොළක් ද Base 27 නමින් සිචුආන් පළාතේ නිර්මාණය කැරිණි. මෙලෙස මිනිසුන් අභ්‍යවකාශයට යැවීම පිළිබඳ ව චීනයට මුලින් ම උනන්දුව ඇති වූයේ 1968 දී වුව ද මුල් ගමන යෑමට බලාපොරොත්තු වූයේ 1973 වන විට දී ය. එනමුත් ඒ කාල සීමාවේ දී මාරුවෙන් මාරුවට චන්ද්‍රිකා සහ අභ්‍යවකාශ යානා කක්‍ෂගත කරමින් අභ්‍යවකාශයේ ආධිපත්‍යය තමන් සතු කරගැනීමට ඇමෙරිකා එක්සත් ජනපදය සහ සෝවියට් රුසියාව ක්‍රියා කරමින් සිටියේ ය. සඳ ගමනට මුල් පියවර සැකසෙමින් තිබිණි.
ඒ අතර චීනය 1970 අප්‍රේල් 24 වාර්තාවක් තැබුවේ සිය මුල් ම චන්ද්‍රිකාව උඩු ගුවනට යවමිනි. ඒ හේතුවෙන් තමන්ගේ ම චන්ද්‍රිකාවක් ගගනගත කළ 5 වැනි රට හැටියට චීනය පත් විය. ඒ වන විට අනුපිළිවෙළින් සෝවියට් දේශය, ඇමෙරිකාව, ප්‍රංශය සහ ජපානය චන්ද්‍රිකා අභ්‍යවකාශයට යවා තිබිණි. චීනය මේ අතරේ දී ම ‘ෂූග්වාන් – 1’ (Shuguang) නම් වූ තනි පුද්ගලයකු රැගෙන යා හැකි අභ්‍යවකාශ කැප්සියුලයක් නිපදවීම සඳහා රහසේ ම කටයුතු කරමින් සිටියේ ය. වාර්තාගත අන්දමට එහි ගමන් කිරීම සඳහා අභ්‍යවකාශගාමීන් 19 දෙනකු ද තෝරාගෙන සිට ඇති නමුත් 1972 දී දේශපාලන හේතූන් මත ‘ෂූග්වාන් – 1’ ව්‍යාපෘතිය නතර කර දැමිණි. ඉන් පසුව යළිත් වරක් 1980 සහ 1990 දශකයේ දී මිනිසුන් අභ්‍යවකාශගත කිරීම සඳහා චීනය විසින් විවිධ ව්‍යාපෘති දියත් කළ ද ඒවා ද සාර්ථක වූයේ නැත.
අන්තිමේ දී 1992 දී චීනයේ නවතම අභ්‍යවකාශ වැඩපිළිවෙළ ඇරඹිණි. එයට මුලින් නම තැබුවේ Project 921-1 ලෙසට ය. පසුව එය ෂෙන්ෂු (Shenzhou), ව්‍යාපෘතිය හැටියට නම් විය. මුල් ම ‘ෂෙන්ෂු’ ව්‍යාපෘතිය යටතේ සාර්ථක රොබෝ කක්‍ෂගත කිරීමක් 1999 නොවැම්බර් 20 වැනි දා සිදු කිරීමට චීනය සමත් වූ අතර 2003 ඔක්තෝබර් 15 වැනි දින ‘ෂෙන්සෝ – 5’ (Shuguang) යානය මඟින් චීන ඉතිහාසයේ ප්‍රථම වරට පැය 21ක අභ්‍යවකාශ චාරිකාවක් සඳහා යෑන්ග් ලීවෙයි (Yang Liwei), නමැති චීන අභ්‍යවකාශගාමියාව පිටත් කරන්නට යෙදුණි. ඒ උඩු ගුවනට ගිය පළමු චීන ජාතිකයා හැටියට ය. ඒ සමඟ ම තමන්ගේ ම රොකට් යානයක් මඟින් උඩු ගුවනට මිනිසකු යැවූ තෙවැනි රට හැටියට චීනය ඉතිහාසගත විය. 2005 දී මිනිසුන් දෙදෙනකු රැගෙන දින පහක චාරිකාවකට ෂෙන්ෂු – 6 පිටත් විය.
වසර 2008 දී මුල්වරට චීන ජාතිකයෙක් අභ්‍යවකාශයේ ඇවිද ගොස් වාර්තාවක් තැබී ය. ඔහු ගමන් කළේ ෂෙන්ෂු – 7 යානයෙනි. 2013 දී සඳ මත යානයක් බැස්සවූ තුන්වැනි රට ලෙස චීනය නමක් තැබී ය.
දැන් මේ පසුගිය දා තමන්ගේ ම නව අභ්‍යවකාශ මධ්‍යස්ථානයකට මිනිසුන් තිදෙනකු රැගෙන ගිය ෂෙන්ෂු 12 යානය දක්වා දිගු වූ චීනයේ අභ්‍යවකාශ තරණ මෙහෙයුම් ඇරැඹුණේ ඒ අන්දමට ය. මේ අලුත් ගමනත් සමඟ මේ වන විට චීන අභ්‍යවකාශගාමීන් 14 දෙනකු උඩු ගුවනට ගොස් හමාර ය.
දැන් කවුරුත් දන්නා පරිදි මේ ඊයේ පෙරේදා 2021 ජූනි 17 වැනි දා ශ්‍රී ලංකා වේලාවෙන් පෙ.ව. 6.52ට චීනයේ ගෝබි කාන්තාරයේ පිහිටි Jiuquan Satellite Launch Center වෙතින් චීනයේ අලුත් ම අභ්‍යවකාශ මධ්‍යස්ථානය වන Tiangong අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙතට ගිය පළමුවැනි කණ්ඩායමට අයත් චීන ගගනගාමීන් තුන් දෙනා සිය මංගල ගමන පිටත් ව ගිය හ. ගමන පිටත් වී පැය හතකට පමණ පසුව පෘථිවියට කිලෝ මීටර් 380ක් ඉහළ අහසේ රඳවා ඇති Tiangong අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ මූලික ඒකකය වන Tianhe නමැති මොඩියුලයට සම්බන්ධ වන්නට මොවුන්ට හැකි විය. එම තිදෙනා දැන් මාස 03ක පමණ කාලයක් අභ්‍යවකාශයේ රැඳී සිටීමට නියමිත ය. එම කාලය තුළ දී මොවුන්ට අවශ්‍ය කෑම – බීම, ඉන්ධන, අභ්‍යවකාශ ඇඳුම් ඇතුළු සියලු උපකරණ රැගත් Tianzhou යානය මීට පෙර මැයි මාසයේ දී Tiangong අභ්‍යවකාශ මධ්‍යස්ථානයට සම්බන්ධ විය. මෙවර අලුත් චීන අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත ගිය තිදෙනා අතරින් දෙදෙනෙක් වඩාත් පළපුරුදු කාරයෝ ය. මෙයින් දෙදෙනකු වන ලියු සහ ටෑන්ග් එකතු ව මෙවර අභ්‍යවකාශයේ ඇවිද යෑමට ද නියමිත ය.
මේ තිදෙනා අතරින් 56 හැවිරිදි නී හයිශෙන්, (Nie Haisheng) චීනයේ වයස්ගතම අභ්‍යවකාශගාමියා ය. ඔවුන් අතරින් 54 හැවිරිදි ලියූ බෝමින්ග් (Liu Boming) වරක් අභ්‍යවකාශයේ ඇවිද පළපුරුදු මුල් ම චීන ජාතිකයා ය. 45 හැවිරිදි ටැංග් හෝන්බෝගේ (Tang Hongbo) පළමු අභ්‍යවකාශ ගමන මෙයයි.
චීන අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ ඉතිහාසය
චීනය මුලින් ම ටියැන්ගොන්ග් – 1’ ලෙස හැඳින්වෙන සිය තනි මොඩියුලයේ අභ්‍යවකාශ මධ්‍යස්ථානය කක්‍ෂගත කරන ලද්දේ 2011 වර්ෂයේ දී ය. එය චීනයේ ජාතික අභ්‍යවකාශ පාලක මණ්ඩලය විසින් මෙහෙයවනු ලැබූවකි. එය බිඳ වැටෙන තුරු ම ඒ වෙත සාර්ථක මූලික ගමන් කිහිපයක් ම සිදු විය. ඉන් පසු 2016 සැප්තැම්බර් 15 චීනය සිය දෙවැනි පර්යේෂණාත්මක අභ්‍යවකාශ මධ්‍යස්ථානය වන ටියැන්ගොන්ග් 2 (Tiangong – 2) ගගනගත කළේ ය.
පළමුවෙන් ම සිදු වුණේ ‘ෂෙන්සෝ – 8’ නම් වූ මඟීන් රහිත අභ්‍යවකාශ යානය 2011 ඔක්තෝබර් මාසයේ දී ‘ටියැන්ගොන්ග් – 1’ වෙත පැමිණීමයි. ඉන් අනතුරු ව ගගනගාමීන් කණ්ඩායම් ද්විත්වයක් අභ්‍යවකාශ මධ්‍යස්ථානය බලා ගමන් කළෝ ය. 2012 ජූනි මාසයේ දී ‘ෂෙන්සෝ – 9’ නම් මඟින් තිදෙනකු සහිත අභ්‍යවකාශ යානය ඒ වෙත ළඟා වුණේ අභ්‍යවකාශගත වූ ප්‍රථම චීන කාන්තාව ද සමඟිනි. ඉන් පසුව 2013 ජූනි මාසයේ දී තවත් මඟීන් තිදෙනකු රැගත් ‘ෂෙන්සෝ – 10’ යානය, ‘ටියැන්ගොන්ග් – 1’ අභ්‍යවකාශ මධ්‍යස්ථානයට ළඟා විය. 2018 වන විට මේ මුල් මධ්‍යස්ථානය ඉවත් කිරීමට සිදු වූ අතර එය මුහුදට කඩා වැටී තම අවසානය දුටුවේ ය.
එහෙත් 2020 වර්ෂය වන විට මොඩියුල හෙවත් ස්වාධීන ඒකක කිහිපයකින් සමන්විත වන මෙටි්‍රක් ටොන් 60ක් බරකින් යුතු අලුත් අභ්‍යවකාශ මධ්‍යස්ථානයක් කක්‍ෂගත කිරීමට චීනය මුල පුරා තිබිණි. එය නම් කර තිබුණේ ද ‘ටියැන්ගොන්ග්’ නමින් ම වන අතර ඉලක්කමක් නම අගට එක් කෙරී නැත. එහි පළමු පියවර ලෙස නව අභ්‍යවකාශ මධ්‍යස්ථානය නිර්මාණය කිරීමට අවැසි පළමු මොඩියුලය හෙවත් ඒකකය වන ටියෑන්හේ a (Tianhe) 2019 වර්ෂයේ දී කක්‍ෂගත කිරීමට චීනය කටයුතු කර තිබිණි. දැන් මේ පසුගිය දා අභ්‍යවකාශගාමීන් තිදෙනා සිය මංගල ගමන පිටත් වූයේ ඒ මධ්‍යස්ථානය බලා ය.
ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ චීන තහනම
මේ වන විට උඩු ගුවනේ අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානයක් ක්‍රියාත්මක ව තිබිය දීත් චීනයට අලුතෙන් ම තමන්ගේ ම ය කියා අභ්‍යවකාශ මධ්‍යයස්ථානයක් අවශ්‍ය වූයේ ඇයි? දැනට ඇති අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානය (ISS) ඇමෙරිකාවේ නාසා ආයතනය ප්‍රමුඛ ව රටවල් 15ක් මඟින් ක්‍රියාත්මක කෙරෙන්නකි. එය ස්වාධීන ඒකක හෙවත් මොඩියුල 16කින් සැකැසුණ සංකීර්ණයකි. ඇමෙරිකාව, රුසියාව, කැනඩාව, ජපානය, මෙන් ම යුරෝපා රටවල් වන බෙල්ජියම, ඩෙන්මාර්කය, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, නෙදර්ලන්තය, නොර්වේ, ස්වීඩන්, ස්වීට්සර්ලන්තය සහ එංගලන්තය ද මේ මධ්‍යස්ථානය පොදුවේ භාවිත කරයි. මෙහි ඒකක 4ක් වන Pirs, Zvezda, Poisk සහ Rassvet රුසියාව සතු ය. ඇමෙරිකාවට Zarya, BEAM, Leonardo, Harmony, Quest, Tranquility, Unity, Cupola සහ Destiny ලෙස නම් ලද ඒකක 9ක් ම අයත් ය. ජපානය සතු ව ඇත්තේ JEM-ELM-PS සහ JEM-PM ලෙස හැඳින්වෙන ඒකක යුගලයයි. යුරෝපීය ඒකකය ලෙස ඇත්තේ Columbus නමින් වූ මොඩියුලයයි. තව නොබෝ දිනක දී ම නාසා ආයතනයේ වාණිජ සහකරුවකු වන අක්සීයෝම් ස්පේස් ආයතනය ද මෙයට තවත් තමන්ගේ ම ඒකකයක් එක් කිරීමට නියමිත ය.
මේ අන්දමට ලෝකයේ ම රටවල් ISS පොදුවේ භාවිතයට ගන්නා නමුත් චීන ගගනගාමීන්ට මේ මධ්‍යස්ථානයට ප්‍රවේශ වීම ඇමෙරිකාවේ අභ්‍යවකාශ ආයතනය වන නාසා ආයතනයේ බලපෑමෙන් 2011 සිට තහනම් කර තිබේ. ඒ ඇමෙරිකාව සහ චීනය අතර දේශපාලනික වශයෙන් හටගත් සිත් අමනාපය සහ අවිශ්වාසය හේතුවෙනි.
2011 දී අභ්‍යවකාශ මධ්‍යස්ථාන චීනයට තහනම් කරන්නට ආසන්නතම හේතුව වූයේ ඇමෙරිකාවේ ජෙට් ප්‍රොපල්ෂන් ආයතනයේ පරිගණක තුළට රිංගා එහි බුද්ධි තොරතුරු සොරාගන්නා ලදැයි කියන සිද්ධියයි. ඒ හා සමග චීනය මඟින් චන්ද්‍රිකා වැනසිය හැකි යුද තාක්ෂණයක් නිපදවීම ද මෙයට දැඩි ලෙස බලපෑවේ ය. චීන අභ්‍යවකාශ වැඩපිළිවෙළ කෙළින් ම එරට මිලිටරිය යටතේ ක්‍රියාත්මක විෂය කරුණක් වීම ද ඇමෙරිකාවේ සැකයට හේතු වූ කාරණාවකි. අනෙක් රටවල් උඩු ගුවනේ මානවයාට පොදු පර්යේෂණ සඳහා චීන සහභාගීත්වය උපේක්‍ෂා සහගත ව ඉවසා සිටින්නේ වුව ද ඇමෙරිකාව ඉහත හේතු මත අන්තර්ජාතික මධ්‍යස්ථානය වෙත පිවිසීම චීනයට තහනම් කළේ ය.
එහෙත් ඒ වන විට ද චීනය තමන්ගේ ම කියා ස්වාධීන අභ්‍යවකාශ මධ්‍යස්ථානයක් ගොඩනැඟීමට සැලසුම් කර තිබිණි. ටියැන්ගොන්ග් – 1 ලෙස හැඳින්වෙන සිය තනි මොඩියුලයේ අභ්‍යවකාශ මධ්‍යස්ථානය කක්‍ෂගත කරනු ලැබුවේ ඒ අනුව ය. එය 2018 දී අක්‍රිය වීමත් සමග අලුත් ම ‘ටියැන්ගොන්ග්’ අභ්‍යවකාශ මධ්‍යස්ථානය උඩු ගුවනේ තැනීම චීනය ඇරැඹුවේ ය. එය මූලික ස්වාධීන ඒකක 3කින් සමන්විත ය. දැන් පසුගිය දා චීන අභ්‍යකාශගාමීන් තිදෙනා පිවිසුණේ එහි මූලික ඒකකය වන Tianhe නමැති මොඩියුලය වෙත ය. එය එහි මධ්‍යම ඒකකය වන අතර පර්යේෂණ කටයුතු සඳහා වෙන් කර ඇති වෙන්ටීයෑන් (Wentian – experiment module 1) සහ මෙන්ග්ටියෑන් a (Mengtian – experiment module 2), නමැති ඒකක දෙකක් සහ ෂුන්ටියෑන් (Xuntian – space telescope) ලෙස හැඳින්වෙන අභ්‍යවකාශ දුරේක්‍ෂය ද 2022 අග වන විට මෙයට එක් කිරීමට නියමිත ය. මේ සියල්ල එකතු කර සම්පූර්ණ මධ්‍යස්ථානය ගොඩනැඟීමට තවත් ගමන් වාර 11ක් පමණ උඩු ගුවන වෙත යෑමටචීනයට සිදු වනු ඇත. ඒ අනාගත ගමන් අතර 4ක් ගගනගාමීන් මධ්‍යස්ථානයට ගෙන යන ඒවා ය. ඒ එකක දී මේ අලුත් මධ්‍යස්ථානයට යන මුල් ම චීන කාන්තාව ද රැගෙන යෑමට නියමිත ය.
චීන මධ්‍යස්ථානය, දැනට ඇති අන්තර්ජාතික මධ්‍යස්ථානයේ ප්‍රමාණයෙන් 5න් 1ක් තරම් කුඩා වූවකි. එය පවතින්නේ ISSට වඩා ඉහළ මට්ටමක එනම් සැතපුම් 275 – 280 අතර ය.අඩි 65ක් දිග, අඩි 10ක විෂ්කම්භය සහිත මෙහි බර රාත්තල් 180,000 – 220,000 අතර ය. වසර 25ක ආයු අපේක්‍ෂාවක් සහිත ISSට සාපේක්‍ෂ ව චීන මධ්‍යස්ථානය වසර 15ක් පමණ සක්‍රිය ව තිබෙනු ඇතැයි විශ්වාස කෙරේ. මේ මධ්‍යස්ථාන දෙක තුළ වරකට සිටිය හැකි පිරිස අතින් ද චීන මධ්‍යස්ථානයේ ධාරිතාව 3කට සීමා වේ. එයට සාපේක්‍ෂ ව ගගනගාමීන් 13 දෙනකු ගෙන් යුතු කණ්ඩායමක් එකවර රඳවා ගනිමින් ISS වාර්තාවක් තබා ඇත්තේ 2009 දී ය. ඒ කණ්ඩායමට රුසියානු, ජපාන, යුරෝපීය සහ ඇමෙරිකානු නියෝජිතයෝ අයත් වූ හ. ටියැන්හේ ඒකකය තුළ මිනිසුන්ට ජීවත් විය හැකි ඉඩකඩ ඝන අඩි 1,700ක් වන අතර ISS තුළ ඒ අවකාශය ඝන අඩි 11,000ක් වේ.
මේ හැරෙන්නට මධ්‍යස්ථාන දෙකේ ම ආකෘතිය සමාන ය. ඒකක වශයෙන් ඇති නිසා වරින් වර මේවාට අලුත් කොටස් එක් කරගන්නට හැකි ය. වසර 2025 වන විට ෂී මධ්‍යස්ථානයට අවුරුදු 27ක් සැපිරේ. මේ වන විට Tiangong වසර 5ක් තරම් ළාබාල වයසක පවතින මධ්‍යස්ථානයක් වනු ඇත. එය 2031 පමණ වන තුරු හෝ ඊටත් වැඩි කලක් යහතින් ක්‍රියාත්මක වනු ඇතැයි බලාපොරොත්තු වේ. වඩාත් අපූරු කාරණාව වන්නේ සිය මධ්‍යස්ථානය කරා එන්නට වෙනත් රටවලට තහනමක් නැති බව චීනය ප්‍රකාශ කර තිබීම ය. ඒ අනුව ඉදිරි පර්යේෂණ කටයුතුවල දී රුසියාව සහ එක්සත් ජාතීන් ප්‍රමුඛ යුරෝපීය රාජ්‍ය චීනය සමඟ අභ්‍යවකාශයේ දී සන්ධානගත වනු නියත ය.
අභ්‍යවකාශ බලවතකු වීමේ චීන ඉලක්කය
පමා වී ගමන ඇරඹුව ද අද වන විට චීනය සියලු කෙණෙහිලිකම් මැඬ සෙසු තරගකරුවන් අබිබවා අභ්‍යවකාශ තරගයේ ඉදිරියට ම පැමිණ සිටියි. තමන්ගේ කියා අභ්‍යවකාශ වැඩසටහනක්, ප්‍රචාලන රොකට්ටුවක්, ගගන තොටුපොළක් මෙන් ම තමන්ගේ ම පන්නයට සැකසූ අභ්‍යවකාශ ඇඳුමක් ද සහිත ව චීනය ආ මේ දිගු ගමනට නව චීනයේ ප්‍රාරම්භකයා වන සභාපති මාඔගේ දැක්ම හා සමාන ව ම වත්මන් ජනාධිපති ෂී ජින් පින්ග්ගේ දායකත්වය ද දැඩි ලෙස බලපා තිබේ. මේ නිසා ම අනාගත
ලෝකයේ අභ්‍යවකාශයේ ප්‍රධාන පරිපාලක කවුන්සිලයේ ඉහළ ම සහ ප්‍රධාන ම තැනක් චීනයට හිමි වන ලකුණු දැනටමත් පහළ වී හමාර ය. නාසා ඇතුළු බටහිර කණ්ඩායම් දැඩි වියදම් දරා වැඩි කාලයක් ශ්‍රමයක් වැය කොට ජීවිත හානි ගණනාවක් සමග තියුණු තරගයකින් දිනාගත් සමහර ජයග්‍රහණ අරපිරිමැස්මෙන් අඩු වියදමින් සහ ඉවසිලිවන්ත දිගුකාලීන ස්ථිර ප්‍රයත්නයන් තුළින් වඩාත් සාර්ථක ලෙස සාක්‍ෂාත් කරගැනීමට චීනය සමත් ව තිබේ. ආර්ථික හා යුධ බලවතකු ලෙස ලෝකයේ මුල් තැන හිමි කර ගැනීමට චීනයට දේශපාලනිකව ඇති වුවමනාව සපුරාගැනීමට අභ්‍යවකාශයේ බලවත් තැනක් හිමි කර ගැනීම ද අත්‍යවශ්‍ය කරුණකි. තවමත් ඇමෙරිකාව අබිබවා යන්නට තරම් දියුණු අභ්‍යවකාශ තාක්ෂණයක් අත්පත් කරගෙන නැතත් චීනය ඒ දිසාවට සාර්ථක ව ගමන් කරමින් සිටියි. චීනයේ අඟහරු ගමන ඒ බව හඟවන උදාහරණයකි.
ඉතා කෙටි කාලයක දී අඟහරු වෙත පිටත් වූ චීනය පසුගිය මස එහි ගොඩ බැස්සවූ ෂුරෝන්ග් (Zhurong) රෝවරය මඟින් ජලය ඇතුළු ජීවයේ ලකුණු සොයා බලමින් සිටී. එපමණකින් නො නැවතුණු චීනය විසින් 2033 වන විට අඟහරු වෙතට මිනිසුන් සහිත යානා යවන්නට තමන් සැලසුම් කර ඇති බව පසුගිය දා හෙළිදරව් කරනු ලැබී ය.
මීට පෙර සඳ වෙත යැවූ යූටු රෝවරය සඳේ සැඟවුණු ප්‍රදේශ ගවේශණය කරමින් සිටියි. 1970න් පසු මහ පොළොවට මෙතෙක් ගෙනා විශාලතම චන්ද්‍ර පාෂාණ තොගය රැගෙන ඒමට ද සමත් වූයේ චීනයයි. දැන් ඔවුන් පිඹුරුපත් සකසමින් සිටින්නේ සඳ මත අන්තර්ජාතික පර්යේෂණ මධ්‍යස්ථානයක් ගොඩනැඟීමට ය. චීනයේ ටියැන්ගොන් මධ්‍යස්ථානය පිහිටුවීමේ තවත් එක් ප්‍රධාන අරමුණක් වන්නේ මහපොළොවේ ගුරුත්වයේ බාධාවන් ගෙන් තොර ව සඳ ගෙමිදුලට ගොඩවැදීම සඳහා අඩු දුර – අඩු මිල පහසු නැවතුම්පොළක් පිහිටුවා ගැනීම ය.
මේ අන්තර්ජාතික චන්ද්‍ර පර්යේෂණ මධ්‍යස්ථානය International Lunar Research Station (ILRS), ගොඩනැඟීම සඳහා ඔවුන් අත ගසා ඇත්තේ රුසියාව සමඟිනි. එය කොටස් දෙකකින් සමන්විත වූවකි. සඳ මත පිහිටා ඇති මූලික මධ්‍යස්ථානයකින් සහ සඳ වටා කක්‍ෂයක ස්ථානගත කළ ඒකකයක් හැටියට ය. මේ අලුත් ඉදිකිරීම 2026 වන විට ආරම්භ කිරීමට සැලසුම් කර ඇත. මෙහි විවිධ ව්‍යාපෘති සඳහා එක් වන ලෙස ලොව අනෙකුත් ජාතීන්ට ද මේ වන විටත් ඔවුන් විවෘත ආරාධනාවක් කර තිබේ. මෙයින් ඔවුන් තවත් කාරණාවක් සාක්‍ෂාත් කරගන්නට සමත් ව ඇත. එනම් අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානය තහනම් කරමින් සෙසු ලෝකයා ඉදිරියේ තමන් හුදෙකලා කිරීමට කටයුතු කළ ඇමෙරිකාව අභ්‍යවකාශයේ දී තනි කර දැමීම ය.
ප්‍රියා අත්තනායක