භ්‍රෑණය : මට ඒ දෙකම හොඳට මතකයි, අම්මා. ඒත් ඒව හරියට බය හිතෙන මතක. ඔයා ගම අතෑරල ආපු දවසෙ ළඟ ම තියෙන ටවුමට යන බස් එක අල්ලගන්න කිලෝමීටර තිහක දුරක් කඳු පල්ලම් අතරින් ඇවිදින්න සිද්ද වුණා. රළු පරළු පාරක බොහොම අමාරුවෙන් ඇවිදගෙන යද්දි ඔයා සන්තකේටම තිබුණෙ යුවාන් දාසයක් විතරයි. ඒ ටික වියදම් වුණාට පස්සෙ ඔයා මොනව කරන්නද? එතනින් එහා ලෝකයේ ඔයාට මොනවා වේවිද කියලා කවුද දන්නෙ? ඊට පස්සෙ අර සුපර්මාකට් එක. ඒක හරියට කූඹි ගුලක් වගේ මිනිස්සු එකිනෙකා අතරෙ තෙරපෙන තැනක්. අඳුරන්නෙ නැති අමුත්තො අතරෙ…. සෑහෙනට බය හිතෙනවා…
යිංග් (දිගු නිහැඬියාවකින් අනතරු ව) : මට දැන් තේරෙනවා ඇයි පරිණාමය විසින් මිනිස්සුන්ගෙ උරුම මතකය අක්‍රීය කරල දැමුණෙ කියල. අපේ මනස වඩ වඩාත් සංවේදී වෙන්න ගත්තහම ප්‍රසූතියට පෙර අවස්ථාව පිටත ලෝකයේ තියෙන කටුක යාථාර්ථයෙන් අපව ආරක්ෂා කරන උණුසුම් තොටිල්ලක් වගේ බව දැනෙන්න අරගෙන තියෙනවා. අපි කරල තියෙන්නෙ ඔයාගෙ දරුවව ඒ තොටිල්ලෙන් අරගෙන හව්හරණක් නැති තැන්නකට විසි කරලා දාපු එක.
භ්‍රෑණය : යිංග් නැන්දේ, මගෙ බණ්ඩියට හයි වෙලා තියෙන මේ බටයක් වගේ එක මොකක් ද?
යිංග් : මට මතක විදිහට ඔයා කලිනුත් ඔය ප්‍රශ්නෙ අම්මගෙන් ඇහුවා. ඒක තමයි ඔයාගෙ පෙකණි වැල. ඔයාගෙ දිවියොත.
* * *
දෙ වසරකට පසු වසත් කල උදෑසනක් පහන් ව පැවතියේ ය.
වෛද්‍ය යිංග් සහ තුරුණු වියේ පසු වූ මව පොදු සුසාන භූමියක් මැද සිටගෙන සිටියෝ ය. මව දෑතින් සිය දරුවා දරාගෙන සිටියා ය.
“ඩොක්ටර් යිංග්, ඔයා කවමදාකවත් හොයමින් හිටපු දේ නවත්තලා දාන එකක් නැද්ද?”
“ඔයා අදහස් කළේ මතක ඇරුණහම මිනිස්සු ඒ මිනිස්සු ම කරවන දේ ගැන ද?” යිංග් සෙමෙන් හිස දෙපසට වැනුවා ය. “කොහෙත්ම නෑ. මං හිතන්නෙ නෑ ඒක විද්‍යාවට හොයාගන්න පුළුවන් වෙන විදිහෙ දෙයක් කියල.”
අලුත නැඟී සිටි හිරු ඔවුන් වටා පැවැති සොහොන් ඵළක පරාවර්තනය කළේ ය. නිමා වූ ජීවිත නො ගැනිය හැකි ගණනක් ඒ සෞම්‍ය කසා පැහැ ආලෝකයෙන් නැවත වතාවක් කැළුම් දුන්නේ ය.
“Tell me where is fancy bred, or in the heart, or in the head?” යිංග් මිමිණුවා ය.
“මොකක් ද ඔයා ඒ කිව්වෙ?” මව වෛද්‍යවරිය වෙත හැරුණේ ප්‍රශ්නයක් මුව රඳවාගෙන ය.
“කාලෙකට කලින් ශේක්ස්පියර් ලියපු වැකියක්.” වෛද්‍ය යිංග් දෑත පෑවෙන් මව සිය බිලිඳා ඈ අත තැබුවා ය.
ඒ උරුම මතකය බලාත්මක වූ බිලිඳා නො වී ය. තුරුණු මව විද්‍යාගාරයෙහි ම සේවයේ නියුතු තාක්ශණඥයෙකු හා විවාපත් වී තිබිණි. ඒ වූ කලී ඔවුන්ගේ දරුවා යි.
සිය මවගෙන් ස්මරණය ලද්දා වූ භ්‍රෑණය, එදා ඒ සංවාදයෙන් පැය කිහිපයකට පසු සිය පෙකණි වැල ඇද ඉරා දමා තිබිණි. කාර්යයේ නියුතු වෛද්‍යවරයා සිදු වී ඇති දෙය තේරුම්ගන්නා විටත් නූපන් ජීවය මිලින ව ගොස් තිබිණි. එවැනි යමක් සිදු කිරීමට තරම් ඔහුගේ කුඩා දෑත් සවිසම්පන්න වූයේ කෙසේ දැ යි සියල්ලෝ ම තුශ්නිම්භූත වූහ.
කාන්තාවන් දෙදෙන දැන් සිටගෙන සිටින්නේ මානව ඉතිහාසය තුළ සිදු වූ ළාබාලතම දිවි නසා ගැනීම වෙනුවෙන් උරුම වූ සොහොන් ඵලකය ඉදිරියේ ය.
වෛද්‍ය යිංග් තම දෑත මත සිටින බිලිඳා දෙස බැලුවේ පරීක්ෂණ නියැදියක් දෙස බලන්නාක් මෙන් විචක්ෂණශීලී ව ය. නමුත් බිලිඳාගේ දෑස වෙහෙසෙමින් තිබුණේ වෙනත් දෙයක් කෙරෙහි ය. ඔහුගේ කුඩා දෑත් සුළඟේ ගසාගෙන යන පුලුන් වන් පොප්ලා මලක් අල්ලා ගැනීම වෙනුවෙන් කාර්යබහුල වීලා ය. ඔහුගේ කළුවන් දීප්තිමත් දෑස පිරී ඇත්තේ විස්මයෙන් හා ප්‍රීතියෙනි. තමා ඉදිරියේ ඇති ජීවිතය නම් වකගැසුණු මාර්ගයේ ඇවද යාමට කිසිඳු පෙර සූදානමක් ඔහු සතු ව නැත. එහෙත් ඔහු ඔ්නෑ ම දෙයකට සූදානම් ය.
කතුන් දෙදෙන සොහොන් ගල් අතරින් වැටුණු මංපෙත දිගේ ඇවිද ගියෝ ය. සුසාන භූමිය කෙළවරේ දී තුරුණු වියේ පසු වූ මව වෛද්‍ය යිංග් අත වූ සිය බිලිඳා ආපසු තම දෝතට ගත්තා ය.
“දැන් අපට අපේ ගමන යන්න කාලෙ හරි.” ඇය එසේ කියන විට දෙනෙත් ප්‍රීතියෙනුත්, සෙනෙහසිනුත් කැළුම් දෙමින් තිබිණි.
චීන ලේඛක සිෂින් ලියු විසින් 2016 දී පළ කරන ලද “The Weight of Memories” කෙටිකතාවේ සිංහල පරිවර්තනය
පරිවර්තනය | සත්‍ය හෙට්ටිආරච්චි