යිංග් : මං ඔළුව දෙපැත්තට වනලා ඔයාගෙ අම්මට මෙන්න මෙහෙම කිව්වා. “ඔයා බිහිකරන්නේ දරුවෙක් නෙවෙයි. ඔයා බිහිකරන්න යන්නෙ”-
භ්‍රෑණය : “ඔයාවමයි.” ඔයා කිව්වෙ එහෙමයි.
මව : මට එයාව තේරුම්ගන්න එවා කිව්ව දේ ගැන කාලාන්තරයක් හිතන්න සිද්ද වුණා. තවත් මොළයක් ඇතුළෙ ඔයාගෙ වගේ ම මතකයන් තැන්පත් වෙලා තියෙනවනම් ඒ පුද්ගලය ඔයා ම නෙමෙයි ද? ඒත් මට ඒහෙම බබෙක් ගැන අදහගන්න බැරි වුණා.
යිංග් : ඒ බබෙක් නොවෙන විත්තියත්, බබෙක්ගෙ ඇඟක් ඇතුළෙ ඉන්න වැඩිහිටියෙක් බවත් මම එයාට පැහැදිලි කරල දුන්නා. එයාලට ඉපදිච්ච ගමන් කතාකරන්න – එහෙමත් නැත්තන් ඔයා මේ දැන් කරනව වගේ ඉපදෙන්නත් කලින් කතාකරන්න, ඒ වගේ ම සාමාන්‍ය බබාලට වඩා ඉක්මනින් ඇවිදින්නත්, අනිත් කඩඉම් පහු කරන්නත් පුළුවන්කම ලැබේවි. ඒ වෙද්දිත් වැඩුණු කෙනෙකුගෙ දැනුමයි අත්දැකීමුයි තියෙන නිසා අනිත් බබාලට වඩා වැඩීම අතින් අවුරුදු විස්සක් ඉස්සරහිනුයි ඉන්නෙ. එයාලා ටක්කෙට ම ඒ විදිහෙ ආශ්චර්යමත් අය වෙයි කියල අපට හරියට ම කියන්න බෑ තමයි. හැබැයි උරුම මතකය පරම්පරාවෙන් පරම්පරාවට සංචය වෙන හින්දා අනිවාර්යයෙන් ම එයාලගෙ පසු පරම්පරා නම් එහෙම වෙනවාමයි. පරම්පරා කීපයකට පස්සෙ උරුම මතකය අදහගන්නත් බැරි හාස්කම් පායි! මේක මානව ශිෂ්ටාචාරය රූපාන්තරණය කරවන පිම්මක් වෙයි. මේ ශ්‍රේෂ්ඨ වෑයමට හවුල් වෙච්ච පුරෝගාමී අම්මා විදිහට ඔයාව ඉතිහාසගත වේවි.
මව : අන්න එහෙමයි පැටියො, ඔයාව මට ලැබුණෙ.
භ්‍රෑණය : ඒත් අපි දන්නෑ කවුද මගෙ තාත්ත කියලා.
යිංග් : තාක්ෂණික හේතු නිසා අපට සිද්ද වුණා නාලස්ථ සංසේචනය යොදාගන්න. ශුක්‍රාණු පරිත්‍යාගියා එයාගෙ අනන්‍යතාවය රහසක් විදිහට තියාගන්න ඉල්ලීමක් කළා. ඔයාගෙ අම්ම ඒකට එකඟ වුණා. ඇත්තම කිව්වොත් බබෝ, එයාගෙ අනන්‍යතාවය වැදගත් නෑ. ඔයාගෙ හැම මතකයක් ම ලැබුණෙ අම්මගෙ පැත්තෙන් හින්දා අනිත් බබාලගෙ තාත්තල එක්ක බලද්දි ඔයාගෙ තාත්තට ඔයාගෙ ජීවිතය ගැන තියන දායකත්වය අල්පයි. අම්මගෙයි තාත්තගෙයි දෙන්නගෙන් ම එන උරුම මතකය ක්‍රියාත්මක කරන්න පුළුවන් තාක්ෂණයත් අපි ගාව තියෙනවා. ඒත් වැඩි පරිස්සමට අම්මගෙ මතකයන් විතරක් බලගන්වන්න අපි තීරණය කළා. අපි දන්නෙ නෑ පුද්ගලයන් දෙන්නෙකුගෙ මතකයන් තනි මනසක් ඇතුළෙ සමගාමී විදිහට වැඩකරන එකෙන් මොන විදිහෙ අතුරු ආබාධ ඇති වෙයි ද කියල.
මව (දිගු සුසුමක් මුදා හැරීමෙන් අනතුරු ව) : මගෙ මතකයන් විතරක් බලගැන්වීමෙන් පවා ඇති වෙන්න පුළුවන් අතුරු අන්තරා ගැන ඔයා දන්නෙ නෑ.
යිංග් (දිගු නිහැඬියාවකින් අනතුරු ව) : ඇත්ත. අපි දන්නෙ නෑ.
මව : ඩොක්ටර් යිංග්, මට තියෙනව මීට කලින් අහන්න හිත නොදීපු ප්‍රශ්නයක්… ඔයාටත් බබාලා නෑනෙ. ඇයි මගෙ වගේ බබෙක් හදාගන්නෙ නැත්තෙ?
භ්‍රෑණය : යිංග් නැන්දෙ, අම්ම හිතනවා ඔයා ආත්මාර්ථකාමී කෙනෙක් කියල.
මව : එහෙම කියන්න එපා පැටියො.
යිංග් : නෑ, ඔයාගෙ බබා හරි. ඔයා එහෙම හිතන එක සාධාරණයි. මම ඇත්තටම ආත්මාර්ථකාමීයි. මුලදි මමත් මටම කියල උරුම මතකයක් තියන දරුවෙක් හදාගන්න කල්පනා කළා. ඒත් එක දෙයක් මාව නැවැත්තුවා. මිනිසා සතු උරුම මතකයේ අක්‍රීය තත්ත්වය ගැන අපි පුදුමයට පත්වෙලයි හිටියෙ. ඒත් මෙච්චරකල් ඒවා පාවිච්චියට නොගෙන සිටීමේ පදනම මොකක් ද? ඒකත් හරියට උණ්ඩුකපුච්ඡය වගේ පරීණාමීය අවශිෂ්ටයකට සමානයි කියල වැඩිමනක් පර්යේෂණවලින් හෙළි වුණා. නූතන මානවයගෙ පුරාණ මුතුන්මිත්තන්ගෙ මොළයේ උරුම මතකය ක්‍රියාත්මක වෙලා තිබ්බා. ඒත් කාලයත් එක්ක ඒ මතකයන් යටපත් වුණා. එච්චර වාසිදායක තත්ත්වයක් පරිණාමය විසින් යටපත් කරලා දැමුණේ ඇයි කියල අපට අදටත් විස්තර කරන්න බෑ. ඒත් සොබාදහමට හැමදේට ම හේතු තියෙනවා. ඒවා අක්‍රීය කරල දාන්න තරම් මොකක්ම හරි භයානක හේතුවක් තියෙන්න ඕනෙ.
මව : හැම දෙයක් ගැනම මුලදි හෙළි නොකරපු එක ගැන මං ඔයාට බණින්නෙ නෑ, ඩොක්ටර් යිංග්. මම මේකට ඉදිරිපත් වුණේ කැමැත්තෙන්මයි. මට දෙවැනි වතාවකට ඉපදෙන්න ඕනෙ.
යිංග් : ඒත් ඒක එහෙම වෙන්නෑ. අපි දැනට දැනගෙන තියෙන කරුණු මත ඔයා ගැබ්බරව ඉන්නෙ ඔයාගෙන්ම නෙවෙයි, දරුවෙකුගෙන්. ඔයාගෙ මතක ඔක්කොම තියෙන දරුවෙකුගෙන්.
භ්‍රෑණය : මං එකඟයි අම්මා. මං ඔයා නෙමෙයි. ඒත් මට දැනෙනවා මගේ මතක හැම එකක්ම ඇවිත් තියෙන්නෙ ඔයාගෙ මොළයෙන් කියලා. මට මගේ ම කියල තියෙන්නෙ මේ වටේට තියෙන වතුර, ඔයාගෙ හදවත ගැහෙන සද්දෙ සහ අර ඈතින් පිටත ඉඳලා එන රතු පාටට හුරු තැඹිලි පාට දීප්තිය වගේ මතකයන් කීපයක් විතරයි.
යිංග් : මනුස්සයෙක්ව ප්‍රතිරූපනය කරන්න, එයාගෙ මතක විතරක් ප්‍රතිරූපනය කිරීම ප්‍රමාණවත් කියල උපකල්පනය කරපු එක අපි අතින් වෙච්ච භයානක අත්වැරැද්දක්. ආත්මයක් ගොඩ නැඟෙන්න නම් මතකයන්ට අමතරව, ප්‍රතිරූපනය කරන්න බැරි තවත් සංඝටක ගණනාවක් වුවමනා කරනවා. කෙනෙකුගෙ මතක හරියට පොතක් වගේ. ඒක එක එක පාඨකයා කෙරේ උද්දීපනය කරන්නෙ වෙනස් වෙනස් හැඟීම්. එච්චර බර, මුඩුම පොතක් නූපන් දරුවෙකුට කියවන්න දෙනව කියන්නෙ හරි දරුණු වැඩක්.
මව : ඒක ඇත්ත. මම මේ නගරෙට කැමැත්තෙන් හිටියත්, ඒක ගැන මගෙ මතකේ තැන්පත් වෙලා තියෙන අත්දැකීම් බබාව බයකරවන්න සමත් වෙලා.
භ්‍රෑණය : මේ නගරෙ හරිම බයහිතෙන තැනක්! එළියෙ තියෙන හැම දේම බය හිතෙන දේවල්, අම්මා. මං ඉපදෙන්න කැමති නෑ!
මව : ඔයා කොහොමද එහෙම කියන්නෙවත්? ඔයා අනිවාර්යෙන්ම ඉපදෙන්න ඕනෙ.
භ්‍රෑණය : බෑ අම්මා! ඔයාට මතකද ෂිතාඕවල හිටපු කාලෙ සීත ඍතුවෙ උදේට ආච්චිඅම්මයි, සීයතාත්තයි ඔයාට කෑ ගහපු විදිහ?
මව : ඔව් මට මතකයි. ඉර උදාවෙන්නත් කලින් මාවත් කූද්දගෙන ගිහින් බැටළු පට්ටිය සුද්ද කරන සිරිතක් එයාලට තිබුණා. මට කීයටවත් නැඟිටින්න ඕනෙකමක් තිබුණෙ නෑ. ඒ වෙද්දිත් වටපිටාව අඳුරුයි. හුළඟ හැමුවෙ කඩු කිණිසි වගේ හම පසාරු කරගෙන. සමහර වෙලාවට හිම පවා කඩා පාත්වුණා. බ්ලැන්කට් එකත් පොරවගෙන හරියට කුරුලු කූඩුවක තියෙන බිත්තරයක් වගේ ඇඳේ ගුලිවෙලා හිටපු මට දැනුණෙ පුදුමාකාර උණුසුමක්. මට හැමවෙලේ ම ඕන කළේ තව චුට්ටම චුට්ට වෙලාවක් හරි නිදාගන්න.
භ්‍රෑණය : තව චුට්ටම චුට්ටක් නෙවෙයි. ඔයාට ඕන වුණේ බ්ලැන්කට් එක යට ගුලිවෙලා හැමදාට ම නිදාගෙන ඉන්න.
මව (කෙටි නිහැඬියාවකින් අනතුරු ව) : ඔව්, ඔයා හරි.
භ්‍රෑණය : මං එළියට එන්නෙ නෑ! නෑමයි!
යිංග් : මම ඔයාට සහතික වෙනව දරුවෝ, එළියෙ තියෙන ලෝකය සීත කුණාටුවකින් පීඩා විඳින සදාතනික රාත්‍රියක් නෙවෙයි. වසන්ත හුළඟ මුහු වෙච්ච ලස්සන දවසුත් තියෙනවා. ජීවිතේ කියන දේ ලේසි දෙයක් නෙවෙයි. ඒත් ඒකෙ ඇතිවෙන්න සතුට සමාදානයත් තියෙනවා.
මව : ඩොක්ටර් යිංග් හරි! ඔයාගෙ අම්මටත් ඒ වගේ සතුටුදායක අවස්ථා හුඟක් මතකයි. හරියට මම ගම දාලා ආපු දවස වගේ. මම ෂිතාඕ අතෑරලා ඇවිදගෙන එනකොට, ඉර උදා වුණා විතරයි. හීතල හුළඟ මූණ ඉඹින අතරෙ, ඇහිච්ච කුරුල්ලන්ගෙ කිචිබිචිය මගෙ කන් දෙක පුරෝලා දැම්මා. මට හිතුණෙ මාත් කූඩුවකින් පැනලා ආපු කිරිල්ලියක් කියලයි…. ඒ වගේම තමයි නගරෙට ඇවිත් මගෙම කියල මුලින්ම මුදලක් හම්බකරගත්තු දවස! එදා සුපර්මාකට් එකට ගිය මට පෙනුනෙ මං වටේට තියෙන නිමක් නැති තෝරාගැනීම් අනන්තයක්. ඔයාට මගෙ සතුට දැනෙන්නැද්ද බබෝ?
භ්‍රෑණය : මට ඒ දෙකම හොඳට මතකයි, අම්මා. ඒත් ඒව හරියට බය හිතෙන මතක. ඔයා ගම අතෑරල ආපු දවසෙ ළඟ ම තියෙන ටවුමට යන බස් එක අල්ලගන්න කිලෝමීටර තිහක දුරක් කඳු පල්ලම් අතරින් ඇවිදින්න සිද්ද වුණා. රළු පරළු පාරක බොහොම අමාරුවෙන් ඇවිදගෙන යද්දි ඔයා සන්තකේටම තිබුණෙ යුවාන් දාසයක් විතරයි.
චීන ලේඛක ලියු සිෂින් විසින් පළ කෙරුණු The Weight of Memories විද්‍යා ප්‍රබන්ධ කෙටිකතාව ඇසුරෙනි.
පරිවර්තනය | සත්‍ය හෙට්ටිආරච්චි