මව : බබෝ, ඔයාට ඇහෙනව ද මාව?
භ්‍රෑණය : මම ඉන්නෙ කොහෙද?
මව : අහා, හොඳයි! ඔයාට මාව ඇහෙනවා. මම තමයි ඔයාගෙ අම්මා.
භ්‍රෑණය : අම්මා! ඇත්තට ම මම ඔයාගෙ බඩ ඇතුළෙ ද ඉන්නෙ? මං පාවෙන ගමනුයි ඉන්නෙ, වතුරෙ…
මව : ඒකට කියන්නෙ කව – කලව – කලලාවාරික තරලය කියල. අමාරු වචනයක්, මං දන්නව. මාත් ඒක ඉගෙනගත්තෙ අදමයි.
භ්‍රෑණය : මොකක් ද මේ සද්දෙ? ඒක හරියට ඈතින් අකුණු කොටනව වගේ.
මව : ඒ මගෙ හෘද ස්පන්දනය. ඔයා ඉන්නෙ මගෙ ඇතුළෙ. මතකයිනෙ?
භ්‍රෑණය : මම මෙතනට ආසයි; මට මෙතනට වෙලා ඉන්න ඕනෙ හැමදාට ම.
මව : හා, ඔයාට එහෙම කරන්න බෑ! ඔයා ඉපදෙන්න එපායැ.
භ්‍රෑණය : බෑ! එළිය හරි බය හිතෙන තැනක්.
මව : ඕහ්… අපි ඒක ගැන කතා කරන එක පස්සට තියාගමු.
භ්‍රෑණය : මගෙ බණ්ඩියට හයිවෙලා තියෙන මේ බටය මොකක් ද අම්මා?
මව : ඒක තමයි ඔයාගෙ පෙකණි වැල. ඔයා අම්මා ඇතුළෙ ඉන්නකොට ජීවත් කරවන්න ඒක ඕනෙ.
භ්‍රෑණය : හ්ම්ම්ම්. අම්මා, ඔයා කවදාවත් මං ඉන්න තැන ඉඳලා නෑ නේද?
මව : ඉඳලා තියෙනවා! මමත් ඉපදෙන්න කලින් හිටියෙ මගෙ අම්මගෙ බඩ ඇතුළෙ තමයි. මං හිතන්නෙ මට එතන හිටපු කාලෙ මතක නැති නිසා තමයි ඔයාටත් ඒ ගැන මතක නැතුව ඇත්තෙ. බබෝ, අම්මගෙ බණ්ඩිය ඇතුළෙ කළුවර ද? ඔයාට මොනව හරි පේනව ද?
භ්‍රෑණය : පිට ඉඳන් ළා එළියක් එනවා. ඒක රතු-තැඹිලි පාට දීප්තියක්, හරියට ෂිතාඕ ගමේ කන්දට මුවා වෙලා ඉර බැහැගෙන යද්දි අහසෙ ඇඳෙන පාට වගේ.
මව : ඔයාට ෂිතාඕ මතකයි ද? එහෙ තමයි මං ඉපදුණේ! එහෙනම් ඔයාට මතක ඇති අම්මගෙ හැඩ රුව එහෙමත්?
භ්‍රෑණය : මම දන්නව ඔයාගෙ හැඩ රුව මොන වගේ ද කියලා. ඔයා පොඩිකාලෙ මොන වගේ ද කියලත් මට මතකයි. අම්මා, ඔයාට මතක ද ඔයා ඔයාව ම දැක්ක මුල් ම වතාව?
මව : අපොයි, ඒක මට මතක නෑනෙ. මම හිතන්නෙ ඒ කණ්ණාඩියකින් වෙන්න ඕනෙ? ඔයාගෙ සීයට තිබුණා කෑලි තුනකට කැඩිච්ච පරණ කණ්ණාඩියක්. එයා ඒ කෑලි එකට අලවලා –
භ්‍රෑණය : නෑ, එහෙම නෙමෙයි, අම්මා. ඔයා පළවෙනි වතාවට ඔයාව දැක්කෙ වතුර උඩ ඇඳුණු පරාවර්තනයක් විදිහට.
මව : හහ් හහ්… මං නම් හිතන්නෑ එහෙම. ෂිතාඕ තියෙන්නෙ ගෝබි කාන්තාර බිමේ තියෙන ගන්සු පළාතෙ. අපට හැම වෙලේ ම වතුරෙන් අගහිඟකම් තිබුණ. ඒ වගේ ම වාතය හුළඟින් කැලැත්තුණු දූවිල්ලෙන් පිරිලයි තිබුණෙ.
භ්‍රෑණය : ඒක ඇත්ත. ආච්චිඅම්මටයි, සීයතාත්තටයි වතුර අරන් එන්න හැම දා ම කිලෝමීටර් ගාණක් ඇවිදගෙන යන්න සිද්ද වුණා. ඔයාට පහ පිරුණ ගමන් ම වගේ, දවසක් ඔයා ආච්චිඅම්මත් එක්ක ළිඳට ගියා. ආපහු එන ගමන අතර මඟදි ඉර තිබුණෙ මුදුන් වෙලා. දරාගන්න බැරි තරම් රස්නයක් තිබුණෙ. ඔයාට හොඳට ම තිබහයි, ඒත් ආච්චිඅම්මගෙ බාල්දියෙන් බොන්න ද කියල අහන්න බයයි ළිඳ ළඟදි ඇති තරම් බිව්වෙ නැති එකට බනියි කියල. ඒත් ගම්මු ළිඳ ළඟ පෙළ ගැහිල හිටියේ ඔයා වගේ පුංචි ළමයෙකුට ඒ ළඟට යාගන්න බැරි වෙන විදිහට. ඒක නියං අවුරුද්දක් වෙච්ච නිසා හුඟක් ළිං හිඳිල ගිහිල්ලයි තිබුණෙ. අහල ගම්මාන තුනේ ම මිනිස්සු වතුර හොයාගෙන ඒ එක ම එක ගැඹුරු ළිඳට ඇවිල්ලයි තිබුණෙ…. කොහොම හරි, ගෙදර එන අතරමඟ ආච්චිඅම්මා විවේකයක් ගන්න නතර වෙච්ච වෙලාවක ඔයා ඒ සීතල වතුරේ සුවඳ විඳගන්න, ඒ සීතල ඔයාගෙ වේලිච්ච මූණෙ වදිනවා විඳගන්න බාල්දියට පැත්තෙන් නැමුණා…
මව : ඔව්, බබෝ, මට දැන් මතකයි!
භ්‍රෑණය : … අන්න එතකොට ඔයා ඔයාගෙ ඡායාව වතුරෙන් දැක්කා. දූවිලි කඩතුරාවකින් වැහිච්ච, වැස්ස නිසා අගල්වලට හේදිලා ගිය ලොයස් වගේ දාඩිය ලේඛා ඇඳිච්ච ඔයාගෙ මූණ…. ඒ තමයි ඔයා ඔයාගෙම ඡායාව දැක්ක මුල් ම මතකය.
මව : ඒත් මටත් වඩා හොඳට ඒක ඔයාට මතක තියෙන්නෙ කොහොම ද?
භ්‍රෑණය : ඔයාට මතකයි අම්මා. ඔයාට ඒ මතකය ආවර්ජනය කරන්න විතරයි බැරි. ඒත් මගෙ මනස ඇතුළෙ ඔයාගෙ මතක පැහැදිලියි, හරියට ඊයෙ සිද්ද වෙච්ච දෙයක් වගේ.
මව : මට හිතාගන්න බෑ මොනව කියන්න ද කියලා….
භ්‍රෑණය : අම්මා, තවත් කවුරු හරි ඔයා එක්ක ඉන්නව කියල මට දැනෙනවා.
මව : ආ, ඔව්නෙ. ඒ ඩොක්ටර් යිංග්. කලලාවාරික තරලයේ පාවෙමින් ඉන්න ඔයාට ඇත්තට ම කතා කරන්න බැරි වුණාට ඔයාටත් මටත් අදහස් හුවමාරු කරගන්න පුළුවන් මැෂිම හැදුවෙ එයා.
භ්‍රෑණය : මම එයාව දන්නවා! එයා චුට්ටම චුට්ටක් ඔයාට වඩා වැඩිමල්. එයා සුදු පාට දිග කබායකුයි කණ්ණාඩියකුයි පළඳිනවා.
මව : ඩොක්ටර් යිංග් සෑහෙන ප්‍රඥාවන්ත, විස්මිත කෙනෙක්. එයා විද්‍යාඥවරියක්.
යිංග් : හලෝ පැටියෝ!
භ්‍රෑණය : හලෝ? අම්… මං හිතන්නෙ ඔයා අධ්‍යයනය කරන්නෙ මොළ ගැන?
යිංග් : ඔයා හරි. මම ස්නායු විද්‍යාඥයෙක්. ඒ කියන්නෙ, මොළය සිතිවිලි සහ මතකයන් හදන්නෙ කොහොම ද කියල අධ්‍යයනය කරන කෙනෙක්. මිනිස් මොළයට ක්ෂීරපථයෙ තියෙන තරු ගණනටත් වඩා වැඩි නියුරෝන ප්‍රමාණයක් ලැබිලා තියෙන්නේ තොරතුරු ගබඩා කරලා තියාගැනීමේ අරුම පුදුම ධාරිතාවකුත් එක්කයි. ඒත් පේන විදිහට මොළය සතු ධාරිතාවයෙන් වැඩිහරියක් භාවිතයට ගැනෙන්නෙ නෑ. අන්න ඒ පුරන් වෙච්ච තැන් අධ්‍යයනය කරන එක තමයි මගේ විශේෂඥතාවය. මොළයේ හිස් කියල හිතාගෙන හිටපු ඒ කොටස් ඇත්තෙන් ම තොරතුරු සුවිශාල ප්‍රමාණයක් රඳවගෙන ඉන්නවා ය කියල අපි හොයාගත්තා. ඒ අපේ මුතුන්මිත්තන්ගෙ සංවහනය වෙන මතකයන් කියල අපි හොයාගත්තෙ බොහොම මෑතකදි. ඔයාට තේරෙනවද මම දැන් කිව්ව ටික, දරුවෝ?
භ්‍රෑණය : මට ඒකෙන් ටිකක් විතර තේරුණා. ඔයා අම්මට ඔය ටික ම කීප සැරයක් විස්තර කරල තියනව කියප මම දන්නවා. එයාට තේරිච්ච තැන් මටත් තේරෙනවා.
යිංග් : ඇත්ත වශයෙන් ම මතක උරුමය කියන එක විවිධ සත්ත්ව විශේෂ අතරෙ බොහොම සාමාන්‍ය දෙයක්. උදාහරණයක් විදිහට මකුළුවට දැල බඳින්න ලැබෙන දැනුම, එහෙමත් නැත්නම් වදයක් බඳින්නෙ කොහොමද කියල මී මැස්සට ලැබෙන දැනුම වගේ, අපි ‘සහජාශය’ කියල හඳුන්වන සංඥාන රටා බහුතරය මෙහෙම උරුම වෙච්ච මතකයන්. අලුතෙන් හොයාගත්ත මිනිස්සු සතු උරුම මතකය අනිත් සත්ත්ව විශේෂවලට වඩා පරිපූර්ණයි. ඒකට අදාළ වෙන තොරතුරු ප්‍රමාණය ජානමය වශයෙන් පැවත එන්න අපහසු වෙන තරමට අතිවිශාල නිසා කේතනය වෙලා තියෙන්නෙ ඩී.එන්.ඒ. අණුවෙ ක්වොන්ටම් ආකාරයකට අනුගතව පරමාණුක මට්ටමකින්. ඒ තත්ත්වය අධ්‍යයනය කරන්න ක්වොන්ටම් ජීවවිද්‍යාව උපකාරී –
මව : ඩොක්ටර් යිංග්, ඒක මගෙ බබාට සංකීර්ණ වැඩියි නෙ.
යිංග් : මට සමාවෙන්න. මට වුවමනා කළේ ඔයාගෙ දරුවා අනිත් දරුවන් එක්ක බලද්දි වාසනාවන්ත ඇයි කියල කියලා දෙන්න! මිනිස්සු සතුව උරුම මතකයන් තිබුණත් ඒවා සාමාන්‍යයෙන් ඒවා මොළය ඇතුළෙ හැංගිලා නිද්‍රාශීලීවයි පවතින්නෙ. ඒවා තියෙනවාය කියලවක් මේ වෙනකල් කිසිකෙනෙක් හඳුනාගෙන තිබුණෙ නෑ.
මව : ඩොක්ටර්, දන්නවනෙ; මං ගියෙ ප්‍රාථමික ඉස්කෝලෙකට විතරයි. ඔයා ඔයිට වඩා සරල විදිහට කතා කරන්න ඔ්නෙ.
භ්‍රෑණය : ඉස්කෝලෙන් පස්සෙ ඔයා අවුරුදු කීපයක් කුඹුරු වැඩ කළා. ඊට පස්සෙ ඔයා වැඩක් පලක් හොයාගෙන ගෙදර අතෑරල ආවා.
මව : ඔව් පැටියො, ඔයා හරි. මට තවදුරටත් ෂිතාඔ්වල ඉන්න බැරි වුණා. ඒ තියා එහෙ වතුරත් තිත්ත රහ වුණා. මට ඕනෑ කළේ වෙනස් ජීවිතයක්.
භ්‍රෑණය : ඔයා නගර කීපයකට ම ගිහින් සංක්‍රමණික කම්කරුවො කරපු හැම රස්සාව ම කළා. කෑම කඩයක පිඟන් හේදුවා; අනිත් අයගෙ ළමයි බලාගත්තා; ෆැක්ටරියක කඩදහි පෙට්ටි හැදුවා; ගොඩනැඟිල්ලක් හදන තැනක කෑම හැදුවා. අමාරු ම වෙච්ච කාලෙක කහලගොඩවල් අවුස්සල ප්‍රතිචක්‍රීකරණයට විකුණන්න පුළුවන් දෙයක් හොයාගන්නත් සිද්ද වුණා…
මව : හොඳ බබා. දිගටම කතාකරන්න. අම්මා ආසයි ඔයා කතාකරනව අහන් ඉන්න.
භ්‍රෑණය : මම මේ කියන හැමදේම ඔයා දැනටමත් දන්නවනෙ!
මව : පහුගිය අවුරුද්දෙ විද්‍යාගාර සේවිකාවක් විදිහට ඩොක්ටර් යිංග් ගාවට එනකම්ම ඔයා සෑහෙනට දුක් ගැහැට වින්දා.
මව : මුල ඉඳන්ම ඩොක්ටර් යිංග් මං ගැන පැහැදීමකිනුයි හිටියෙ. සමහර දවස්වල එයා කලින් වැඩට එද්දි, මම අතුගගා ඉන්නකොට, මඟ නැවතිලා මාත් එක්ක කතා කරන ගමන් මගෙ ජීවිත කතාවට ඇහුම්කන් දෙනව. එක උදෑසනක එයා මට ඔෆිස් කාමරයට අඬගැහැව්ව.
භ්‍රෑණය : එයා ඔයාගෙන් ඇහුව, “ඔයාට ආපහු ඉපදෙන්ඩ ලැබුණොත්, කොහෙ ඉපදෙන්නද වඩාත් කැමති?” කියල.
මව : “ආයෙ දෙකක් නෑ, මෙහෙ! මට ඔ්නෙ ලොකු නගරයක ඉපදිලා නාගරික ජීවිතයක් ගත කරන්න.” මං උත්තර දුන්න.
භ්‍රෑණය : ඩොක්ටර් යිංග් ටික වෙලාවක් ඔයා දිහා බලාගෙන ඉඳල හිනාවුණා. ඒක ඔයාට මුළුමනින් ම තේරුම්ගන්න බැරි වෙන විදිහෙ හිනාවක්. ඊට පස්සෙ එයා කිව්ව “ඔයා නිර්භීත කෙනෙක් නම්, මට පුළුවන් ඔයාගෙ හීනෙ හැබෑ කරන්න” කියල.
මව : මං හිතුවෙ එයා විහිළුවක් කරනවයි කියල. ඒත් ඊට පස්සෙ එයා මට තේරුම් කරල දුන්න, උරුම මතකය ගැන.
යිංග් : මං ඔයාගෙ අම්මට පැහැදිලි කරල දුන්නා, සංසේචනය වෙච්ච ඩිම්බයක ජාන නවීකරණය කරලා නිද්‍රාශීලී මතක උරුමය අවදිකරන්න පුළුවන් ක්‍රමවේදයක් අපි හොයාගෙන තියනව කියලා. ඒක වැඩ කළොත් ඒ උරුමය මතින් ඊළඟ පරම්පරාවට හුඟක් දේ කිරීමේ හැකියාව ලැබෙයි කියලා.
මව : මං පුදුම වුණා. මං ඩොක්ටර් යිංග්ගෙන් ඇහුවා “එහෙම දරුවෙක් මගෙන් බිහිවෙනවා බලන්න ඔයාට ඕනෙද?” කියලා.
චීන ලේඛක ලියු සිෂින් විසින් පළ කෙරුණු The Weight of Memories විද්‍යා ප්‍රබන්ධ කෙටිකතාව ඇසුරෙනි.
පරිවර්තනය | සත්‍ය හෙට්ටිආරච්චි