බිත්තරය

ඔබ මිය යන විට සිටියේ ගෙදර යමිනුයි.
එය රිය අනතුරක්. ඒ හැටි විශේෂ යමක් නො වුණත්, මාරක අනතුරක්. බිරිඳයි, දරු පැටවු දෙන්නෙකුයි තනි කර දමලයි ඔබ මෙහෙට පැමිණියේ. එය වේදනා රහිත මරණයක්. හදිසි ප්‍රතිකාර අංශය ඔබ බේරාගන්න උපරිමයෙන් වෙහෙස වුණත් ඵලක් වුණේ නැහැ. මා විශ්වාස කරන්න. ඔබේ මුළු සිරුර ම කැබැලි වී ගොසිනුයි තිබුණේ. ඒ නිසා අත්හැර දමලා ආ එක හොඳයි.
ඔබට මා මුණගැසුණේ එවිටයි.
“මොකක් ද… මොකක් ද සිද්ධ වුණේ…?” ඔබ විමසුවා. “මම මේ කොහෙද ඉන්නේ…?”
“ඔබ මිය ගියා.” සැඟවීමෙන් ඵලක් නැති නිසා මම එසැණින් කියා දැමුවා.
“එතන ට්‍රක් එකක් තිබුණා… ඒ ට්‍රක් එක ඇලේට ගියා…”
“ඔව්.” මම කීවා.
“මම… මම මැරුණ ද?”
“ඔව්. ඒත් ඒ ගැන අහිතක් හිතන්න එපා. හැම දෙනා ම මැරෙනවා.” මම කීවා.
ඔබ වටපිට බැලු‍වා. එතැන තිබුණේ ශූන්‍යත්වයක්. ඔබයි, මායි පමණයි. “මේ කොහෙ ද?” ඔබ ඇසුවා. “මේ පරලොව ද?”
“අඩු වැඩි වශයෙන්” මම පිළිතුරු දුන්නා.
“ඔබ දෙවියන් වහන්සේ ද?” ඔබ ඇසුවා.
“ඔව්…” මම කීවා. “මම තමයි දෙවියන් වහන්සේ.”
“මගෙ ළමයි… මගෙ බිරිඳ,” ඔබ කීවා.
“ඔවුන් ගැන මොකක් ද?”
“ඔවුන් හොඳින් ඉඳී වි නේ ද?”
“එය මා දකින්න කැමැති දෙයක්.” මම කීවා. “ඔබ මිය ගියත් මූලිකත්වය දෙන්නේ පවුලේ උදවියටයි. එය හොඳ ගුණාංගයක්.”
ඔබ මා දෙස බලා සිටියේ මෝහනයකින් වගෙයි. ඔබට අනුව නම් මා දෙවියෙක් මෙන් නො පෙනෙන්නට ඇති. එක්තරා විදියක සාමාන්‍ය මිනිසෙක් පමණක් වන්නට ඇති. ඇතැම් විට ගැහැනියක්. බාග දා නිලධාරියකු ලෙස පෙනෙන්නට ඇති. මහේශාක්‍ය ගතියකට වඩා ප්‍රාථමික පාසල් ගුරුවරයකුගේ පෙනුමක් මගෙන් ඉස්මතු වන්නට ඇති.
“දුක් වෙන්න එපා.” මම කීවා. “ඔවුන්ට හරි යා වි. දරුවන් හැම දාට ම ඔබ මතකයේ රඳවා ගනී වි. ඔවුන්ට කවදා වත් ඔබ සමගින් කාලය ගත කරන්න බැරි වුණා. බිරිඳ නම් පිට අයට පෙනෙන්න ටිකක් අඬා වි. නමුත් හිත ඇතුළෙන් සැහැල්ලු‍ වේ වි. කොහොමත් ඔබ දෙන්නගෙ කසාදෙ ඉරිතලන්න ඔන්න මෙන්න නෙ තිබුණෙත්. මේක ඇහුවහම ඔබේ හිතට සහනයක් දැනෙනවා නම්… කල් ගත වෙද්දී ඒ දැනුණු සැහැල්ලුව ගැන එයාට වරදකාරී හැඟීමක් දැනෙන්න පටන් ගනී වි.”
“ඔහ්… ඉතින් දැන් මොකද වෙන්නේ? මම යන්නේ අපායට ද, ස්වර්ගයට ද?” ඔබ ඇසුවා.
“දෙකෙන් එකකට වත් නෙවෙයි.” මම කීවා. “ඔබ නැවත ඉපදේ වි.”
“ආහ්…” ඔබට කියැවුණා. “එහෙම නම් හින්දු භක්තිකයන් නිවැරැදියි.”
“හැම ආගමක් ම ඔවුන්ට ආවේණික ආකාරයකින් නිවැරැදියි. එන්න මා සමග ඇවිදින්න.” මම කීවා.
ශූන්‍යත්වය තුළින් අප ඇවිද යන අතරේ ඔබ මා පිටුපසින් ගෑටුවා. “අපි මේ කොහේ ද යන්නේ?” ඔබ ඇසුවා.
“විශේෂයෙන් කොහෙවත් නෙවෙයි.” මම කීවා. “ඇවිදින ගමන් කතා කරන එක හොඳයි.”
“ඉතින් ඉන් ඇති ඵලය මොකක් ද?” ඔබ විමසුවා. “මම යළි ඉපදුණොත් මතකයේ තියෙන සියල්ල ම මැකිලා යා වි නේ? එතකොට මම නිකං ම චූටි බබෙක් විතරයි. මම මේ ජීවිතයේ දී අත්විඳි දේවලින්, කළ දේවලින් කිසිම වැඩක් වෙන එකක් නෑ.”
“එහෙම නෑ..!” මම ඔබ නිවැරැදි කළා. “පසුගිය
ආත්මවලින් ලබාගත් දැනුම සහ අත්දැකීම් දැනටමත් ඔබ ළඟ තියෙනවා. එක ම වෙනස දැන් ඒවා මතක නැති වීම පමණයි.”
මම එක තැන නතර වී ඔබේ උරහිසින් අල්ලා ගත්තා. “ඔබේ ආත්මය ඔබට සිතාගත නොහැකි තරමට විචිත්‍රයි, අලංකාරයි. ඒ වගේ ම සුවිශාලයි. මිනිස් මනසකට දරා සිටිය හැක්කේ ඔබෙන් ඉතා කුඩා කොටසක් පමණයි. එය හරියට ඔබ ඇඟිලි තුඩුවක් ජලය පිරවූ වීදුරුවකට දමලා ඒ ජලය උණු ද, සීතල ද බලනවා වගේ වැඩක්. ඔබ ඔබේ ආත්මයෙන් කුඩා කොටසක් ශරීරයක් තුළට දමනවා. ඔබ එය ආපසු ගන්නේ එය ලැබූ අත්දැකීම් සියල්ල උකහාගෙනයි. ඔබ අවුරුදු හතළිස් අටක් ම හිටියේ මිනිසෙක් වෙලා. ඒ නිසා ඔබට තවමත් ඔබේ දැවැන්ත විඥානයේ ඉතුරු කොටස දැනෙන්නට පටන් අරන් නෑ. අපි ඇති තරම් වෙලාවක් මෙතැනට වෙලා රැඳිලා හිටියෝතින් ඔබට ඒවා සියල්ල මතක් වෙන්නට ගනී වි. නමුත් හැම ජීවිතයක ම අවසානෙ දී එය කරන එකේ තේරුමක් නෑ.”
“එහෙම නම්, කියන්න මම මීට කලින් කී වතාවක් නැවත ඉපදිලා තියෙනව ද?”
“ඔහ්, සෑහෙන්න. සෑහෙන වතාවක් එක එක ජීවිතවලට ගිහින් තියෙනවා.” මම කීවා. “මේ ඔබ ක්‍රිස්තු වර්ෂ 540 අවුරුද්දේ චීන ගොවි යුවතියක වේ වි.”
“ටිකක් ඉන්න. මොනව කිව්වා?” ඔබ ගොත ගැහුවා. “ඔබ මාව කාලයේ ආපස්සට යවනව ද?”
“ඇත්තට ම.. තාක්‍ෂණික ව ගත්තොත් ඔව්. ඔබ ඔය දන්නා කාලය පවතින්නේ ඔබේ විශ්වයේ පමණයි. මා පැමිණි තැන දේවල් වෙනස්.”
“ඔබ ආවේ කොහෙන් ද?” ඔබ ඇසුවා.
“අහ්, කියන්නම්” මම විස්තර කරන්නට ගත්තා. “මම ආවේ වෙනත් තැනකින්. මීට වඩා වෙනස් තැනකින්. මම වගේ තවත් අය එහි ඉන්නවා. මම දන්නවා එතැන මොන විදියේ තැනක් ද කියලා දැනගන්න ඔබ ඉතා ම කැමැත්තෙන් ඉන්නේ කියලා. නමුත් අවංක ව ම කියනවා නම් ඒක ඔබට තේරුම්ගන්න පුළුවන් දෙයක් නෙවෙයි.”
“ඔහ්…” ඔබ තරමක් පසුබැස්සා. “ඒත් ඉන්න… මාව මේ විදියට කාලයේ තැන් තැන් වලින් මාව ආපහු ඉපදෙනව නම් කොයිම වෙලාවක හරි මට මාව ම හම්බවෙන්නත් පුළුවන් නේ.”
“නිසැකව ම. ඒක හැම මොහොතක ම සිදු වන දෙයක්. නමුත් ඒ ජීවිත ද්විත්වය ම දන්නේ තම තමන්ගේ ජීවිතය ගැන විතරක් නිසා ඒක වෙන බව වත් ඔයා දන්නේ නෑ.”
“ඉතින් මේ හැම දේක ම ඇති තේරුම මොකක් ද…?”
“ඇත්තෙන් ම…?” මම ඇසුවා. “ඇත්තෙන් ම ඔබ මේ අහන්න හදන්නේ ජීවිතයේ තේරුම මොකක් ද කියල ද? ඇත්තට ම ඒක ටිකක් සාම්ප්‍රදායික ප්‍රශ්නයක් නේ ද? ”
“ඇත්තට ම ඒක සාධාරණ ප්‍රශ්නයක්.” ඔබ අවධාරණය කළා.
මම මගේ ඇස් ඔබේ ඇස් මතට යා කළා.
“මම මේ මුළු විශ්වය ම තැනුවේ ඔබට පරිණත වෙන්නයි.”
“ඔබ ඔය කියන්නේ, ඔබට වුවමනා මනුෂ්‍ය වර්ගයා පරිණත කරන්න කියලා ද…?”
“නෑ. ඔබ පමණයි. මම මේ මුළු විශ්වය ම නිර්මාණය කළේ ඔබ වෙනුවෙන්. උදා වන සැම ජීවිතයක් පාසා ම ඔබ දැනුමින් වැඩෙනවා. පරිණත වෙනවා. ක්‍රම ක්‍රමයෙන් බුද්ධිමත් ජීවියකු බවට වර්ධනය වෙනවා.”
“මම විතර ද? එතකොට අනිත් අය?”
“වෙන කවුරුවත් නෑ.” මම පැවසුවා. “මේ විශ්වයේ සිටින්නේ ඔබත් මාත් පමණයි.”
ඔබ මා දෙස බලා සිටියේ හිස් වුණු මුහුණකින්. “ඒ වුණාට පෘථිවියෙ මිනිස්සු…”
“ඒ ඔබමයි. ඒවා ඔබේ ම වෙනස් ජීවිත.”
“ටිකක් ඉන්න. මම හැමෝ ම ද..?!”
“දැන් ඔබට වැටහෙන්නට පටන් අරන්.” මම ඔබේ පිටට තට්ටුවක් දමමින් පැවසුවා.
“මෙතෙක් කලකට ජීවත් වුණු හැම පුද්ගලයා ම මම ද..?”
“ඔව්. ඒ වගේ ම අනාගතයේ ජීවත් වීමට නියමිත අයත් ඔබමයි.”
“ඒබ්‍රහම් ලින්කනුත් මමයි..?”
“ඒ වගේ ම ලින්කන් මරා දැමූ ජෝන් බූතුත් ඔබමයි.” මම ඊට එකතු කළා.
“හිට්ලරුත් මමයි..?” ඔබ බියෙන් ඇසුවා.
“ඒ වගේ ම ඔහු මරා දමපු මිලියනාධික ජනකායත් ඔබ මයි.”
“ජේසුත් මමයි..?”
“ඔහු පසුපස ගිය අනුගාමිකයනුත් ඔබ මයි.”
ඔබ නිහැඬියාවක ගිලු‍ණා.
“ඔබ යමෙකුට විපතක් සිදු කළොත්..” මම පැහැදිලි කළා. “ඔබ විපතේ හෙළන්නේ ඔබව මයි. ඔබ යමෙකුට කරුණාව දක්වන විට, ඔබ කරුණාවන්ත වන්නේ ඔබට මයි. සැම මිනිසෙකු ම අත් දැකපු, අත්දකින සැම සතුටක් ම සැම දුකක් ම ඔබ ම අත්දුටු දේවලුයි.”
ඔබ දිගු වේලාවක් කල්පනාවක ගැලී සිටියා.
“ඇයි..?” ඔබ ඇසුවා. “මේ හැම දෙයක් ම කරන්නේ ඇයි..?”
“ඒ ඔබත් කෙදිනක හෝ මා වගේ වන නිසයි. මොකද ඔබේ උරුමය ඒකයි. ඔබ මගේ වර්ගයේ අයෙක්. ඔබ තමයි මගේ දරුවා.”
“ඇත්ත ම ද?” ඔබේ කටින් පිටවුණා. “ඔබ ඔය කියන්නේ මමත් දෙවි කෙනෙක් කියල ද?”
“නෑ. තවම නෑ. ඔබ තවම කලලයක්. ඔබ තවම ඉන්නේ වැඩෙමිනුයි. සැම කාලයක ම සැම මිනිස් ජීවිතයක් ලෙස ම ඔබ ජීවත් වුණාට පස්සේ, ඔබ උපත ලබන්නට තරම් පරිණත වෙලා ඉඳී වි ”
“එතකොට මේ මුළු මහත් විශ්වය ම නිකන් ම නිකන්…”
“බිත්තරයක්.” මම ඔබ සොයමින් සිටි පිළිතුර ලබා දුන්නා. “දැන් ඔබට ඊළඟ ජීවිතයට යන්න කාලය හරි.”
මම ඔබව ඔබේ මග දිගේ පිටත් කළා.

★★★ නිමි ★★★


Andy Weir ගේ 2009 වසරේ පළ වූ ‘The Egg’ විද්‍යා ප්‍රබන්ධය ඇසුරෙනි.

සිංහල පරිවර්තනය: සත්‍ය හෙට්ටිආරච්චි

Related posts

බර යැ මේ ස්මරණයෝ

බර යැ මේ ස්මරණයෝ

බර යැ, මේ ස්මරණයෝ