ගෝතමාලාවේ වැසි වනයක් තුළ සැඟවුණු මායා බිම් පෙදෙසක් සොයා ගැනෙයි

ගුවන් යානයක සිට ලේසර් කිරණ යොදා ගනිමින් සිදු කළ LIDAR (LIght Detection And Ranging) පරිලෝකනය මඟින් උතුරු ගෝතමාලාවේ වර්ෂා වනාන්තරයක් තුළ සැඟවී තිබෙන මායා ශිෂ්ටාචාරයට අයත් ව තිබූ වර්ග කිලෝ මීටර් 1,700 ක භූමි ප්‍රදේශයක් අනාවරණය කර තිබෙනවා.

ක්‍රිස්තු පූර්ව 1000 සිට ක්‍රිස්තු පූර්ව 250 දක්වා මධ්‍ය සහ පශ්චාත් ප්‍රාග් සම්භාව්‍ය අවධියට අයත් මේ සුවිසල් මායා බිම් පෙදෙස සොයාගෙන තිබෙන්නේ උතුරු ගෝතමාලාවේ Mirador – Calakmul Karst ද්‍රෝණියේ පිහිටි වැසි වනාන්තර වල ඝන ශාක වියන විනිවිද යවන ලද ලේසර් කිරණ පරාවර්තනය කිරීමෙන් නිර්මාණය කරනු ලැබූ ප්‍රතිබිම්බයක් තුළිනුයි.

Ancient Mesoamerica ජර්නලයේ පළ කර තිබූ මේ පිළිබඳ පර්යේෂණ වාර්තාවට අනුව පරිලෝකන දත්ත ඇසුරෙන් මේ ප්‍රදේශය පුරා ඇවිද යාමට යොදාගත් කිලෝ මීටර් 160ක් පමණ දිග මාවත් සමූහයක් මගින් සම්බන්ධ වුණු වාසස්ථාන දහසකට වැඩි ගණනක් හඳුනාගෙන තිබෙනවා.
එයට අමතරව ඇල මාර්ග හා ජලය සංචිත කිරීමට තනනු ලැබූ ජලාශයන් ද, විසල් වේදිකා සහ පිරමිඩ කිහිපයක නටබුන් ද සොයාගෙන තිබෙනවා.

“පළමුවැනි වතාවට බටහිර අර්ධගෝලයේ මීට කලින් කිසි විටෙක දැක නොතිබුණු දේශපාලනිකව හා ආර්ථිකව එකට බැඳී තිබුණු ප්‍රදේශයක් මේ දත්ත වලින් පෙනෙනවා.”
ඉහත පර්යේෂණ වාර්තාවේ සහාය කතුවරයෙකු වන එක්සත් ජනපදයේ ටෙක්සාස් සරසවියේ භූගෝල විද්‍යා සහ පාරිසරික දෙපාර්තමේන්තුවේ පශ්චාත් ආචාර්ය උපාධි පර්යේෂක Carlos Morales – Aguilar සඳහන් කරනවා.

” මායාවරුන්ට මේ Mirador – Calakmul Karst ද්‍රෝණිය කියන්නේ ගෝල්ඩිලොක් කලාපයක් වගෙයි. “
එසේ පවසන්නේ හූස්ටන් හි මායා බිම් පෙදෙස් පිළිබඳ භූ විද්‍යා අධ්‍යයන ආයතනයේ භූ විද්‍යාඥයෙකු මෙන්ම අධ්‍යයන වාර්තාවේ තවත් සහාය කතුවරයෙකු වන Ross Ensley.
මායා වරුන් මෙහි පදිංචි වීමට හේතුව මේ ප්‍රදේශයේ වාසස්ථාන සඳහා යෝග්‍ය උස් බිම් වල මෙන්ම කෘෂිකර්මය සඳහා සුදුසු පහත් බිම් වල කදිම මිශ්‍රණයක් තිබීම බව ඔහු පවසනවා.
උස් බිම් වලින් ඔවුන්ගේ මූලික ඉදිකිරීම් ද්‍රව්‍යය වන හුණුගල් සැපයුණු අතර පහත් බිම් සාරවත් කාබනික පසක් තිබූ තෙත් බිම් ලෙස පැවතුණු බව ඔහු සඳහන් කරනවා.

Live Science සහ Ancient Mesoamerica ඇසුරෙනි.

ප්‍රේමශාන්ත කුමාරසිරි

Related posts

ජනවාරියේ එක ම රොකට්ටුවකින් සමාගම් දෙකක චන්ද්‍ර යානා දෙකක් අභ්‍යවකාශයට

ඇමරිකාවේ හැදෙන වාණිජමය විලයන බලාගාරය

අඟහරු මත මානව පුරාවිද්‍යාත්මක ස්ථාන සංරක්ෂණය කළ යුතු බව පර්යේෂකයෝ කියති