Science News ජපානයේ ‘වඳුරුකිඳුරා’ නිර්මාණයක් බව තහවුරු වෙයි SathyaFebruary 27, 20230102 views ජපානයේ අසකුචි නගරයේ පිහිටා තිබෙන ඉන්ජු-ඉන් විහාරස්ථානය ජනප්‍රිය ව පැවතියේ එහි සන්තකයේ තිබූ සුවිශේෂ මළ සිරුරක් නිසයි. මමීකෘත ව තිබූ එහි උඩු කොටස වඳුරෙකුගේ ලෙසත්, පහළ කොටස මත්ස්‍යයෙකුගේ ලෙසත් නිර්මිත ව තිබුණා. පෙනුමෙන් මිථ්‍යා කතාවල එන දියකිඳුරෙකුට සමාන වූ නිසා ම එය හැඳින් වූයේ මමීකෘත වූ වඳුරුකිඳුරා (Mermonkey) ලෙසයි. පැවසෙන්නේ එය 19 වන සියවසේ සිට විහාරස්ථානය තුළ තැන්පත් කර ඇති බවයි. අඩියක පමණ දිගකින් යුතු වූ එය දශක ගණනාවක් තිස්සේ ජනී ජනයාගේ කුහුල වඩවන්නට සමත් ව තිබුණා. ජපානයේ පැවති පැරැණි ජනශ්රැතියේ කිඳුරන් ගැන කතා එමටයි. එනිසා ම මේ ‘කිඳුරුවඳුරා’ ජපානයට අනගි පුරාණ වස්තුවක් වී තිබුණා. නමුත් මෑතක දී කරන ලද අධ්‍යයනයක් මඟින් මේ මමීකෘත සත්ත්වයාගේ සැබෑ ස්වරූපය අනාවරණය කරගන්නට පර්යේෂකයන් පිරිසක් සමත් වුණා. ඒ Kurashiki University of Science and the Arts සහ කුරශිකි ස්වභාවික ඉතිහාසය පිළිබඳ කෞතුකාගාරයේ මැදිහත් වීමෙන්. ඒ අනුව මේ මමීකෘත සත්ත්වයා සැබෑ සතෙකු නො වන බව සොයාගන්නට ඔවුන් සමත් වී තිබෙනවා. පර්යේෂකයන් පසුගිය වසරේ සිට මේ දක්වා ම මමිය සිය අධ්‍යයනයට භාජනය කරමින් සිටියා. ඔවුන්ට සත්‍යය පෙනී ගියේ එහි ලබාගත් එක්ස් කිරණ ඡායාරූප අධ්‍යයනය කිරීමෙන් අනතුරුවයි. එහිදී ඔවුනට පෙනීගියේ මෙම සත්ත්වයාට හිස් කබලක් මෙන් ම ඉල ඇට කූඩුවක් ද නො පවතින බවයි. එහි ඉහළින් පිහිටි කොටස් තනා තිබෙන්නේ කඩදාසි සහ රෙදි යොදාගෙන බව පෙනීගියා. එහි පහළින් පිහිටි මත්ස්‍යයෙකුගේ වන් ශරීර කොටස ජපානය අවට මුහුදුකරයෙන් හමු වන මත්ස්‍යයෙකුගේ කොටසකට අතිශය සමාන බව තහවුරු කෙරුණා. ඒ එහි තිබී හමු වූ කොරපොතු සාධක වශයෙන් යොදාගෙනයි. එනිසා ඔවුන්ගේ නිගමනය වූයේ මුළු ‘වඳුරුකිඳුරා’ ම ව්‍යාජ සතෙකු වුවත් එහි පහළ කොටසට අමුණා ඇති මත්ස්‍ය වරල සැබෑ ම එකක් බවයි. කාබන් දින නිර්ණය මඟින් එය නිර්මාණය වී ඇත්තේ දහ නවවන සියවසේ අග භාගයේ දී බව නිගමනය කෙරුණා. පර්යේෂකයන් සඳහන් කරන්නේ එය මුල දී විනෝදාස්වාදය වෙනුවෙන් නිපදවා ඇතත් පසු කාලීනව විහාරස්ථානයේ තැන්පත් කෙරෙන්නට ඇති බවයි. පර්යේෂණ කටයුතුවලින් අනතුරුව යළිත් මේ වඳුරුකිඳුරා විහාරස්ථානය තුළ ම තැන්පත් කෙරුණා. NHK World සහ Science Alert ඇසුරෙනි. සත්‍ය හෙට්ටිආරච්චි